Friday, December 28, 2012

රහතන් වහන්සේ දෙනමක් අතර අපූරු ධර්ම සාකච්ඡාවක්

මලින් බර අතු පතරින් ගලා ආ නොසැඩ හිරුකිරණ, බරණැස ඉසිපතනයට සවස් භාගය උදා වූ බව හැඟවීය. කිසි බියකින් තොරව එක් පසෙක සැරිසරන මුව කැල ද ටික වේලාවකින් එළඹෙන සැඳෑ සුවය විඳීමට සැරසුණු සේ ය. භවයට බැඳෙන සියලු බන්ධනයන් ගෙන් මිදුණු බුදුසව්වන්ගේ පරම ශාන්ත වූ සන්තානයට මිගදායේ ශාන්ත භාවය ගැලපී ගියේ, අපූර්වත්වයකිනි. අවේදයිත සුඛයෙන් සුවසේ වාසය කරන ඒ උතුමන්ට ඉසිපතන භූමිය ආනන්ද ජනක රමණීය තැනකි. මේ සුන්දර සවස් භාගය උදාවූ ඉසිපතන මිගදාය කෙම්බිමෙහි එක් තැනෙක ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේගේ සෙනසුන ය. නුදුරින් වූ තවත් තැනෙක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ සෙනසුනය. කිසිවකට නොබැඳුණු අරමුණක, ඵලසමාපත්ති සුවයෙන් සිට වුට්ඨාන වසිතාවෙන් ඉන් නැගී සිටි කොට්ඨිතයන් වහන්සේට නුදුරින් පිහිටි සාරිපුත්තයන් වහන්සේගේ සෙනසුන නෙත ගැටිණි.

“ අප දෙදෙනාම එකම නිෂ්ටාව ලත් අය නොවේ ද? දෙදෙනාටම ඇත්තේ ද එකම ගුරුවරයා ය. ප්‍රතිවේධ කළේද එකම ධර්ම ය යි. අනුගමනය කළ මාර්ගයන් එකම යි. අප දෙදෙනාම ලැබූ ඵලප්‍රාප්තියත් එකම යි. එහෙම නම් මොකක්ද අප දෙදෙනාගෙ වෙනස?.” කොට්ඨිතයන් වහන්සේට එහෙම හිතුණද? අනේ නැහැ. දස සංයෝජනම දුරු කළ උන්වහන්සේ ළඟ මානය සියුම් මාත්‍රයක්වත්, අපේ කාලෙ සම සහතික ලත් අය ළඟ වාගෙ තිබුණේ නැහැ. “ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නුවණින් දෙවැනි වන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණ යි. උන් වහන්සේ මහා ප්‍රාඥ යි. ඒ ප්‍රඥාවට කවුරුන්ගේ ප්‍රඥාව සම කළ හැකි ද? මේ වාගෙ උතුමකුගේ ඇසුර ලැබෙන එකත් මහා භාග්‍යයක් ම යි. යන්න ඕනෑ උන්වහන්සේගෙන් ධර්ම කාරණයක් ගැන විමසා දැනගන්න.”

මේ විදිහටයි ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේට සිතුණේ.මෙහෙම හිතලා නිහතමානීව සතුටු සිතින් යුක්ත වූයේ ශාන්ත ගමනින් සාරිපුත්තයන් වහන්සේ සිටි තැනට උන්වහන්සේ වැඩම කළ සේක. සතුටින් ඔබ මොබ දුව පැන ඇවිදින මුව පොව්වන් දෙස සිවු බඹ ෂහරණයෙන් යුතුව බලා සිටි සාරිපුත්තයන් වහන්සේට , කොට්ඨිතයන් වහන්සේගේ පැමිණීම නිරාමිස සතුටක් ගෙන දුන්නේ ය. නිවුණු ඇත්තෝ, නිවුණු ඇත්තන් සමඟම අගේට ගැලපී පෑහී යෙත්. ක්ලේශ පරිනිර්වාණයෙන් ලෝකය ඉක්මවා ගිය උතුමන් දෙදෙනෙක් මුණ ගැසුණු තැන කුමක් නම් කථා කරන්නට ඇද්ද? රට තොට දේශය ගැන ද? අනෙකුත් සව්වන්ගේ කුදු මහත් කටයුතු ගැන වගතුග ද? තම තමන් අතීතයේ කළ කී දෑ ද? වැස්ස, අවුව, ගහකොළ , සතා, සිව්පාවා ගැන ද? මේ සියල්ල ඉක්මවා ගිය අයට ඒවා ගැන කවර කථා ද? මෙය, කොට්ඨිතයන් වහන්සේ තම පාලුව මකා ගන්නට ආ ගමනක් නොවේ.

හරිම සුහද හමුවක්! සතුටුවිය යුතු පිළිසඳරක පමණක් යෙදුණු කොට්ඨිතයන් වහන්සේ එකත්පස්ව අසුන්ගෙන ඉතා වැදගත් ධර්ම කාරණයක් සාරිපුත්තයන් වහන්සේගෙන් විමසූ සේක. ඒ කුමක් නිසා ද සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව උරගා බලන්නට ද? එක් කෙනෙක් මෙහෙම කියනවා, ඔබ වහන්සේ ඒ ගැන කොහොමද සිතන්නෙ කියල දැන ගන්නද? තමන්ගේ දැනුම සමග සසඳා බලන්නද? නැත, මේ එකක්වත් නිසා නොවේ. අපූරු ධර්ම සාකච්ඡාවක් මෙතැන දී ආරමභ වීය. ප්‍රතිවේධ කර ගත් දහමක් වුවත් නැවත නැවත විමසමින් සුදුසු කාලයෙහි සාකච්ඡා කරන්නට, එමගින් ධර්ම රසය උපේක්‍ෂාවෙන් ලබන්නට රහත් ශ්‍රාවකයන් වහන්සේ ද කැමැත්තෝය. නෛර්යානික ශ්‍රී සද්ධර්මය, සේඛ, අසේඛ දෙපක්‍ෂයටම රසයක් ම ගෙන දෙයි. මහා ප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරනු අසන්නට අකැමැති කවුරුද?

ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ මෙසේ අසති.
“කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්ත, චක්ඛු රූපානං සඤ්ඤෝ ජනං , රූපා චක්ඛුස්ස සඤ්ඤෝජනං?”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස! ඇස තියෙන්නෙ රූපවලට බැඳිලද? නැත්නම් රූප තියෙන්නෙ ඇසට බැඳිල ද?”
ඇසෙන් රූප දකිනවා . රූපයක් දුටු විට ඒ රූපය සමග බැදී යනවා. ඒ බැඳීම නිසා නැවත නැවත බලන්නට පෙළෙඹෙනවා. මේ බැඳීම කොහොම එකක් ද? ඇස රූපයට බැඳිලද? නැත්නම් රූපය ඇසට බැඳිලද? ඉතින් ඔය ප්‍රශ්නය අපෙන් කවුරු හරි ඇසුවොත් අපටත් බැරියැ ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙන්න, වැඩි ඈතට සිතන්න ඕනෑ නැහැනේ. ඇස තමා රූප වලට බැඳිල තියෙන්නේ. වැඩි දෙනෙක් ළඟ ඔය උත්තරේ තියෙනවා ම යි. ඇස නැත්නම් රූප සමග බැඳීමක් කොයින් ද? තව ටිකක් කල්පනා කරපු කෙනෙක් කියාවි, රූපයයි ඇසට බැඳෙන්නෙ කියල. බලපුවම ඒකත් හරි වාගෙ, තවත් කෙනෙක් කියාවි ඇසත් රූපයට බැඳිල, රූපයත් ඇසට බැඳිල කියල. ඒ පිළිතුරෙන් ආඳෙකු මෙන් ප්‍රශ්නයෙන් ලිස්සල යන්නත් පුළුවන්, ඇයි බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නෙ කෝකටත් හරියන දෙයක් කියලා. ඒ වාගෙ ලිස්සලා යන කට්ටියක් ඒ කාලෙත් හිටිය කියලා. ඉතින් මේ ප්‍රශ්නය ඇසූ විට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කොට්ඨිතයන් වහන්සේ දෙස බලා දෙතොල් මඳක් විවර කර මඳහසින් හරි අපූරු පිළිතුරක් වදාළා.

“නඛෝ ආවුසෝ කොට්ඨිත! චක්ඛු රූපානං සඤ්ඤෝජනං න රූපා චක්ඛුස්ස සඤ්ඤෝජනං “ “ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මේ දෙක අතර එහෙම නම් බැඳීමක් කියල දෙයක් ඇත්තෙම නැද්ද? “
“ ඒකාන්තයෙන්ම තියෙනවා කොට්ඨිතයන් වහන්ස”
“පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේ ඔය විදිහටමද කන ගැන කියන්නෙත්? කන ශබ්දයට බැඳිලද? ශබ්දය කනට බැඳිල ද? අනෙක් ආයතන ගැනත් එහෙම ද? නාසය ගඳ සුවඳට බැඳිල ද? ගඳ සුවඳ නාසයට බැඳිල ද? රසය දිවට බැඳිල ද? දිව රසයට බැඳිල ද? කය පහසට බැඳිල ද? පහස කයට බැඳිල ද? මනස අරමුණට බැඳිල ද? අරමුණ මනසට බැඳිල ද? “ “ඒක එහෙමම යි, පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, කන ශබ්දයට බැඳිලත් නැහැ, ශබ්දය කනට බැඳිලත් නැහැ. අනෙක් ආයතන ගැනත් කියන්න තියෙන්නෙ ඒ විදිහමයි.”

“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඇස, කන, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතන හයත්, රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස ධර්ම යන බාහිර ආයතන හයත් එකිනෙකට ඒවායින්ම බැඳිල නැහැ කියල ඔබ වහන්සේ පවසනවා. ඒ වාගේම ඒවා ඒකාන්තයෙන්ම බැඳිලත් තියෙනව කියලා පවසනවා. එහෙම නම් මේ බන්ධනය කොයි වාගෙ එකක් ද? කොහොමද ඇති වන්නෙ?”
“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස! ඒක මෙහෙමයි . ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. නමුත් ඔය දෙක බැඳ තබන බන්ධනයක් තියෙනවා.”

“යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්ද රාගෝ තං තත්ථ සඤ්ඤෝජනං “ “ඇසයි රූපයයි යන දෙක නිසා යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒ ඡන්ද රාගය තමයි ඔය දෙක බැඳ තබන බන්ධනය.”
“ඔය විදිහටමයි කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සමග ශබ්දය ,ගන්ධය, රසය, පහස, ධර්ම බැඳිලා තියෙන්නෙත් ඒ බැම්ම තමයි, ඡන්ද රාගය කීවේ.”

“පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඒ බන්ධනය කොයි වගේ එකක් ද කියල උපමාවකින් පෙන්නල දෙන්න පුළුවන් ද? “

“පුළුවන් පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඒක කොයි වගේ ද? කියනව නම්, කලු ගොනෙකුයි සුදු ගොනෙකුයි කඹයකින් හරි යොතකින් හරි බැඳල තියෙනකොට, කලු ගොනා සුදු ගොනාට බැඳලා කියල කෙනෙක් කියන්න පුළුවන්. තවත් කෙනෙක් කියාවි , සුදු ගොනා කලුගොනාට බැඳලා කියල. ඒ දෙකම හරි කියමන් ද? “
“ නැහැ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස”

“අන්න ඒ වගේ තමයි. කලුගොනා සුදු ගොනාගේවත් සුදුගොනා කලුගොනාගේවත් බන්ධනය නොවෙයි. ඒ දෙදෙනා බැඳල තියෙන කඹය හරි යොත හරි තමා බන්ධනය. ඒ විදිහටමයි අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලත් නැහැ. බාහිර ආයතන හය අභ්‍යන්තර ආයතන හයට බැඳිලත් නැහැ. ඡන්ද රාගය අර ගොන් දෙන්නා බැඳල තිබුණු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා බැඳල තිබුනු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා තියෙන බන්ධනය, ඡන්ද රාගයක් උපදිනවා නම් විතරයි , ඒ බැඳීම සිද්ධ වන්නෙ.”

“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලා ගියා නම්, රූපය ඇසට බැඳිල ගියා නම් කාටවත් දුක් නැති කිරීම පිණිස නිර්වාන මාර්ගය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නැහැ. ඇසයි රූපයයි තියෙන ඒවාමයි. ඒ දෙක එකට බඳින ඡන්ද රාගය අශ්‍රැතවත් පුද්ගලයා තුළ උපදින එකක්. ශ්‍රැතවත් ආර්යයන් වහන්සේ ඒ ඡන්ද රාගය ක්‍ෂය කරලයි තියෙන්නෙ. ඡන්ද රාගය ක්‍ෂය කළ හැකි දෙයක්.”

“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේටත් ඇස තියෙනවා. ඇසින් රූපත් දකිනවා. අනෙකුත් ආයතනත් තියෙනවා. නමුත් උන්වහන්සේට අර කියූ බන්ධනය නැහැ. ඡන්ද රාගය නැති කරලයි තියෙන්නෙ.” “ඇස රූපයට බැඳිලා ගියා නම් මොකද වන්නෙ? ඇස තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. රූපය ඇසට බැඳිලා තිබුණා නම් රූප තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. නමුත් මේ බන්ධනයෙන් මිදෙන්න නම් සිඳ දැමිය යුත්තේ ඡන්ද රාගය කියන යොතයි. අන්න එදාට මේ බ්‍රහ්මචරියාව සම්පූර්ණ වනවා. ශාස්තෘන් වහන්සේ අපට කියා දුන්නේ මෙන්න මේ ඡන්ද රාගයේ ආස්වාදය ගැන යි. ආදීනවය ගැන යි. නිස්සරණය ගැන යි. ඉතින් යම් කෙනෙක් යම් මොහොතක මේ ඡන්ද රාගය කියන බන්ධනය සිඳ දැම්මේ නම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම නිරුද්ධ වී යනවා. එයාට සියලු දුක් නැති කිරීම පිණිස තවත් කළ යුතු දෙයක් නැහැ.”

“සාධු! සාධු! ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමය හරිම ආශ්චර්ය යි. මේ කාරණය මේ තරම් පිරිසුදුව අසන්නට ලැබුණු එක, මොන තරම් භාග්‍යයක් ද?

මේ උතුම් ධර්ම කාරණය පිරිසිඳ සාකච්ඡා කිරීමෙන් ඒ රහතන් වහන්සේ ;දනමම සතුටට පත් වුණා. ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ ඒ සෙනසුනෙන් නික්මී තම සෙනසුන වෙත ශාන්ත ගමනින් වැඩම කළා.
සං.නි.4, සළායතන වර්ගයේ
කොට්ඨිත සූත්‍රය ඇසුරෙනි

අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නන්ට පිළිතුරු


අතිපූජ්‍ය
රේරුකානේ
චන්දවිමල මහ නා හිමි
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් පිරිනිවන් පෑමෙන් පසුවත් බුදුන් වහන්සේගේ ධර්ම විනයට විරුද්ධ මත දැරුවෝ ගිහි පැවිදි දෙපිරිස තුළම සිටියහ. එයින් උද්ගත වූ නොයෙක් කාරණා හේතුවෙන් බුදුන් වහන්සේ වැඩ සිටියදීම ශාසන චිරස්ථිතිය උදෙසා විනය නීති පැනවීමත් පැනවූ යම් යම් විනය නීති සංශෝධනයත් සිදුවිය. එසේ විවිධ මතයන්ගෙන් පිරිසුදු ධර්ම විනය දෙක බුදුරදුන් පිරිනිවීමෙන් පසු මහා සංඝරත්නය විසින් ද එවැනි මත මතුවූ කල්හි ධර්ම සංගායනා පැවැත්වීමෙන් පිරිසුදුව රැකගනු ලැබිණි.

මෙසේ ආරක්‍ෂා වූ අසූ හාරදහසක් ධර්මස්කන්ධය ත්‍රිපිටකය නම් විය. එහිදී විනය පිටකයට 21000ක්ද සූත්‍ර පිටකයට 21000ක්ද අභිධර්ම පිටකයට 42000ක්ද ධර්මස්කන්ධයෝ අයත් වෙති. මෙහි අභිධර්ම පිටකයට අයත් ධර්මස්කන්ධය බුද්ධ භාෂිතයක් නොවේ යි යන මතය දරන සුළු පිරිසක් ගිහි පැවිදි දෙපාර්ශවය තුළින්ම වරින් වර මතු වී ඇත. ඔවුන්ගේ ඒ දුර්මතය දුරු කිරීමෙහිලා ඒ ඒ කාල පරිච්ඡේද තුළ වැඩ සිටි මහ තෙරුන් වහන්සේ කටයුතු කර ඇත. 2500 වැනි බුද්ධ ජයන්තිය උදෙසා සිදු කළ ත්‍රිපිටක පරිවර්තනයේ දී (සිංහල භාෂාවට) මහාවග්ග පාලියෙහි (ප්‍රථම භාගයෙහි) ද ධම්මසංගණී ප්‍රකරණයෙහිද ප්‍රස්ථාවනාවන් සැපයූ මහතෙරුන් වහන්සේ ද එම මතයට විරුද්ධව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කොට ඇත.

මෙකල බුදුසසුනට මහත් ආලෝකයක් වූ කුඩා ත්‍රිපිටකයක් බඳු දහම් පොත් පෙළක් (26 ක්) සම්පාදනය කළ මහ තෙරුන් වහන්සේ කෙනකු හැටියට බෞද්ධ ලෝකයාගේ ගෞරවාදරයට පත් වූ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේද එම කරුණෙහිලා “අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නවුන්ට පිළිතුරු” මැයෙන් ලිපියක් පළකොට ඇත. නාහිමියන් අපවත් වී 2012 ජූලි 04 වැනි දිනට වර්ෂ 15 පිරීමත් 2012 ජූලි 19 වැනි දිනට 115 වැනි උපන් දිනය වීමත් නිමිති කොටගෙන උන්වහන්සේගේ ගුණ සිහිකිරීම වශයෙන් එම ලිපිය මෙහි දැක්වේ.
තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි වදාරන ලද බුද්ධ වචන රාශිය ධර්ම විනය වශයෙන් දෙපරිදි වෙයි. එයින් විනය, විනය-අභිවිනය වශයෙන් දෙකකට බෙදනු ලැබේ. භික්‍ෂු භික්‍ෂුණීන් විසින් පොහෝ කිරීමේ දී උදෙසනු ලබන පාරාජිකා සංඝාදිසේසාදි සිඛපද විස්තර කර ඇති පාරාජිකා පාළි, පාචිත්තිය පාළි යන විනය ග්‍රන්ථ දෙක විනය නමින් හඳුන්වනු ලැබේ. පැවිදි කිරීම්, උපසම්පදා කිරීම්, සීමා බැඳීම්, පොහෝ කිරීම්, පවාරණය කිරීම්, ඇවතට පිළියම් කිරීම් ආදිය දක්වන්නා වූ ද, සිඛපදයන් නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන්නා වූද මහාවග්ග, චූලවග්ග, පරිවාර යන ග්‍රන්ථ තුන අභිවිනය නමින් හඳුන්වනු ලැබේ. බුද්ධ වචනයන් පිටක වශයෙන් බෙදීමේදී විනය – අභිවිනය දෙකම විනය පිටකය වශයෙන් ගනු ලැබේ.
ධර්මය ද , ධර්ම – අභිධර්ම වශයෙන් දෙකට බෙදනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදී ඒ ඒ පුද්ගලයන් හට ඔවුන්ගේ චරිත අනුව, අදහස් අනුව, පැමිණ ඇති කරුණු අනුව පවත්වන ලද දේශනා ධර්ම නම් වේ. සූත්‍ර යනු ද ඒවාට කියන තවත් නමෙකි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්ම නම් වේ. එනම්, ධම්මසංගණී – විභංග - ධාතු කථා - පුග්ගල පඤ්ඤත්ති – කථාවත්ථු - යමක – පට්ඨාන යන ප්‍රකරණ සතය. ධර්ම පිටක වශයෙන් බෙදීමේදී මේ සප්ත ප්‍රකරණය අභිධර්ම පිටකයයි ද ඉතිරි ධර්ම සූත්‍රපිටකය යි ද කියනු ලැබේ.

ලොව ඇති සජීවාජීව සියල්ල සෑදෙන මූල ධාතූන් විස්තර වශයෙන් විභාග කොට ඇත්තේ ද ඒවා ඇතිවන සැටිත්, පරම්පරා වශයෙන් පවත්නා සැටිත්, ඒ ධාතු පරම්පරාවන් සිඳී යන සැටිත්, ඒ ධාතුන්හි ඇති ශක්ති විශේෂයන් හා ඒවායින් ඇති විය හැකිදේත්, විභාග කොට ඇත්තේ ද අභිධර්මයෙහිය. කුශාලාදි ධර්ම නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, ඒවායේ ඇති ශක්ති විශේෂ විභාග කොට ඇත්තේ ද, ඒ ශක්තීන් නිසා ඇතිවන ඵල විපාක නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, මෙලොවින් පරලොවට කිසිවක් නොගොස්ම නැවත නැවත භවයෙන් භවයෙහි සත්වයාගේ ඉපදීම සිදුවිය හැකි ආකාරය දක්වා ඇත්තේ ද අභිධර්ම පිටකයෙහිය.

සූත්‍ර පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්‍ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැනිය. එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුවද කෙනකුට වෛද්‍යවරයකු නොවිය හැකි ය. එමෙන්ම සූත්‍ර කෙතෙක් උගත ද එයින් බුදුදහම, ‘බෞද්ධ දර්ශනය’ නිරවුල් ලෙස දතුවකු නොවිය හැකිය. බුදුදහම නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය පිටකය උගත යුතුමය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේ ය. එබැවින් මහා ගෝසිංග සූත්‍ර අටුවාවෙහි මෙසේ කියා ඇත්තේ ය.

“සුඛුමං පන චිත්තන්තරං ඛන්ධන්තරං ධාතන්තරං ආයතනන්තරං ඣානොක්කන්තිකං ආරම්මණොක්කන්තිකං අංගවවත්ථානං ආරම්මණවවත්ථානං අංගසංකන්තං ආරම්මණසංකන්තං එකතො වඩ්ඪනං උභතො වඩ්ඪනන්ති ආභිධම්මික ධම්මකථිකස්සෙව පාකටං, අනභිධම්මිකො හි ධම්මං කථෙන්තො අයං සකවාදො අයං පරවාදොති න ජානාති, සකවාදං දීපෙස්සාමිති පරවාදං දීපෙති. පරවාදං දීපෙස්සාමීති සකවාදං දීපෙති. ධම්මන්තරං විසංවාදෙති. ආභිධම්මිකො සකවාදං සකවාදනියාමෙනෙව පරවාදං පරවාදනියාමෙනෙච දීපෙති. ධම්මන්තරං න විසංවාදෙති.” ආභිධර්මිකයන් හා අනභිධර්මිකයන් ගැන අත්ථසාලිනි අටුවාවෙහි ද මෙසේ දක්වා ඇත්තේ ය.

“ආභිධම්මික භික්‍ඛුයෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මකථං කථෙන්තාපි න ධම්මකථිකා; කස්මා? තෙහි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූප පරිච්ඡේදං ධම්මන්තරං ආලොළෙත්වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මන්තරං අනාලොළෙන්ති. තස්මා ආභිධම්මිකො භික්‍ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිත කාලෙ පන පඤ්හං කථෙස්සතීති. අයමෙව කිර එකන්තධම්මකථිකො නාම හොති.”

කරුණු මෙසේ හෙයින් බුදුදහම ගැන නිවැරැදි නිරවුල් දැනුමක් ඇති කර ගනු රිසි සැමදෙනාම අභිධර්ම පිටකය උගත යුතුය. අභිධර්ම පිටකය බුදුදහමෙහි ඉතා සාරවත් වූ ඉතා වටිනා කොටසය. එහෙත් අටුවාලියන කාලයේ දී අභිධර්මය අබුද්ධ දේශිතයකැයි කියන විතණ්ඩවාදීන් විසූ බව අත්ථසාලිනී අටුවාවෙහි නිදාන කථාවෙන් පෙනේ. එක්තරා ආභිධම්මික භික්‍ෂුවක් එසේ කියන විතණ්ඩවාදියකුගෙන් ප්‍රශ්න අසා නිරුත්තර කොට ඔහුගේ වාදය බිඳහෙලා නිග්‍රහ කළ අයුරු අත්ථසාලිනියේ 23 වැනි පිටුවේ දක්වා තිබේ.

දැනුදු බුදුදහම පහත් කොට දක්වනු කැමැති, අවුල් කරනු කැමැති, බෞද්ධයන්ගේ ආගම භක්තිය උපායෙන් නසනු කැමැති ඇතැම් යුරෝපීය පඬිවරු “අභිධර්ම පිටකය බුද්ධකාලයේ තිබුණේ නැත, පළමුවන දෙවන සංගායනාවලදීත් තිබුණේ නැත, එය බුද්ධ භාෂිතයක් නොවේය, එය ද්විතීය සංගායනාවට හා තෘතීය සංගායනාවට අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දකැයි සිතිය හැකි යැ”යි කියති. බුදුනටත් ඉහළින් යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද ඒ මත පිළිගෙන මහලොකු දේවල් ලෙස තැන තැන පවසති. ඒ මත පිළිගත් එක්තරා ස්ථවිර නමක් දැන් අභිධර්මයේ අඩුතැන් පුරවන්නටත්, වැරැදි තැන් සකස් කරන්නටත් පටන්ගෙන තිබේ. එය මන්ත්‍රය නොදැන නයින් නටවන්නට යෑම වැනි භයානක ඵල ඇතිවිය හැකි වැඩක් බව ඒ ස්ථවිරතුමන්ට මතක් කරනු කැමැත්තෙමු.

තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනා කරනු ලැබූ බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වන ප්‍රසිද්ධ කරුණකි. විනය පිටකය ඇති වූයේ අභිධර්ම පිටකය ඇති වී වර්ෂ බොහෝ ගණනක් ගත වූ පසුවය. අභිධර්ම පිටකය දේශනය කළ කාලය වන විට සූත්‍ර පිටකයෙන් ද තිබෙන්නට ඇත්තේ සුළු කොටසකි. එබැවින් එකල විසූ බොහෝ භික්‍ෂූන් අභිධර්ම පිටකය භාවිත කරන්නට ඇතිවාට සැකයක් නැත. “අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නොතිබුණේ ය” යි කියන්නවුන් විසින්, එකල තිබුණේ යයි පිළිගනු ලබන සූත්‍ර, විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ, ඒ ධර්මය භික්‍ෂූන් අතර කෙලින්ම තිබුණු නිසා ය.

විනය පිටකයේ පාචිත්තිය පාළියෙහි 72 වැනි පචීතියෙහි අනාපත්ති වාරයේ සඳහන් වන පාඨයක් මෙසේ ය.
“අනාපත්ති න විවණ්ණේතු කාමො, ඉංඝ තාව සුත්තන්තේ වා ගාථායොවා අභිධම්මංවා පරියාපුණස්සු. පච්ඡා පි විනයං පරියාපුණිස්සතීති භණති.”
බුද්ධකාලයේ අභිධර්ම පිටකයක් නොතිබුණා නම් මේ සික පදය විස්තර කිරීමේ දී අභිධර්මයක් සඳහන් කරන්නට කරුණක් නැත.

තවද පාචිත්තිය පාළියේ භික්‍ඛුණී විභංගයේ ඡත්තුපාහන වග්ගයේ 12 වැනි සිකපද විස්තරයේ මෙසේ සඳහන් වේ.
සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.
විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.
අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.”
මේ පාඨයෙහි සුත්තන්ත – විනය – අභිධම්ම යන පිටක තුන ඉතා පැහැදිලි ලෙස දක්වා තිබේ. මේ පාඨවල අභිධම්ම යන වචනයෙන් කියන ධර්මය අභිධර්ම පිටකය හැර අනිකක් නම්, ඒ කුමක්ද කියා බුද්ධකාලයේ අභිධර්මය නොතිබුණේ යයි කියන්නවුන් දැක්විය යුතුය.

එසේ දක්වන්නට දෙයක් ඔවුනට නැත. සූත්‍ර, විනය පිටක දෙක්හි අභිධර්මය සඳහන් කර ඇති තවත් බොහෝ තැන් ඇතත් බුද්ධ කාලයේ අභිධර්මය නොතිබුණේය යන මිථ්‍යා මතය බිඳලීමට දැක් වූ විනය පාඨ දෙකම ප්‍රමාණවත් වන බැවින් ඒවා නොදක්වනු ලැබේ.

ප්‍රථම ද්විතීය සංගීතිවලදී පිටකත්‍රය ම සංගායනා කළ යුතු බව අටුවාවල හා තවත් පොත්පත්වලත් පැහැදිලි ලෙස ම දක්වා තිබේ. ඒ සංගායනාවලදී අභිධර්ම පිටකය සංගායනා නොකළ බවක් කොතැනකවත් සඳහන් කර නැත. අභිධර්මය ඒ සංගායනාවලදී සංගායනා නොකළ බව කියන්නවුන්ට ඒ බව ඔප්පු කිරීමට කිසිම ප්‍රබල සාධකයක් නැත. ඔවුන් ඒ ගැන දක්වන එකම සාධකය චූලවග්ග පාලියේ සංගීති කතාවල අභිධම්ම යන වචනය සඳහන් නොවීම පමණකි. චුලවග්ග පාලියේ සංගායනාව දක්වා තිබෙන්නේ ඉතා කෙටියෙනි. එහි
“එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දො විස්සජ්ජෙසි”
යන පාඨයෙන් දක්වන්නේ අභිධර්ම පිටකයත් සංගායනා කළ බවය. අභිධර්ම පිටකය නිකාය පසින් ඛුද්ධක නිකායට අයත් ය. චූලවග්ග සංගීති කතාවෙහි අභිධර්මය යන වචනය සඳහන් වී නැත ද ඛන්ධකාවසානයෙහි දක්වා ඇති.

උපාලි විනයං පුච්ඡි - සූත්තන්තානන්ද පණ්ඩිතං
පිටකං තීණි සංගීතිං - අකංසු ජින සාවකා


යන උද්දාන ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව දැක්වේ. අභිධර්ම පිටකය සංගායනා නොකළා නම් මේ ගාථාවෙන් කියන පිටක තුන මොනවාද? වැරැදුන තැනදී බොහෝ දෙනා කරන පරිදි ඕවා පසු කාලයේ දී ලියන ලද ඒවාය කියා ගැලවෙන්නට තැත් කරනවා මිස, මේ ප්‍රශ්නයේ දී පරවාදීන්ට කළ හැකි අනිකක් නම් නැත. තථාගතයන් වහන්සේ අභිධර්ම පිටකයෙහි වදාරා ඇත්තේ ඉතා ගැඹුරු ධර්මයන්ය. එකින් එක වෙන් කළ නොහෙන පරිදි බැඳි සමූහ වශයෙන් වහ වහා ඉපද ඉපද බිඳි බිඳී යන චිත්ත චෛතසික ධර්මයන් මේ මේය කියා විභාග කර දැක්වීම ලොව්තුරා බුදුවරුන්ට මිස සෙස්සන්ට කළ හැකියක් නොවේ. එබැවින් අභිධර්ම පිටකය ලොව්තුරා බුදු කෙනකුන් විසින්ම දේශනා කරනු ලබනවා මිස අනිකකුට සම්පාදනය නොකළ හැකිය.

සාමාන්‍ය ලෝකයාට විෂය නොවන ගැඹුරු ධර්මයන් විභාග කොට දක්වන අභිධර්ම පිටකය යමෙකුට සම්පාදනය කළ හැකි වූයේ නම් එය සුළු කරුණක් නොව මහා ප්‍රාතිහාර්යයකි. එබඳු මහත් දෙයක් කළ තැනැත්තකුට ඒ ග්‍රන්ථ බුද්ධ දේශනාවක් ලෙස ඉදිරිපත් කොට සැඟවෙන්නට කිසිම කරුණක් නැත.

අභිධර්ම පිටකය සම්පාදනය කළහයි කියන කාලයේ පොත් තිබුණේ නැත. ඒ කාලයේ ධර්ම ශාස්ත්‍රයන් පවත්වාගෙන ආයේ පාඩම් ඇතියකුගෙන් අසා පාඩම් කර ගැනීමේ ක්‍රමයෙනි. දීර්ඝ දෙයක් වන අභිධර්ම පිටකය සිය මුවින් ම කියා පිරිසකට පාඩම් කරවීමට දිගු කලක් වුවමනාය. බොරුවට ආයු මඳය. එබැවින් කෙනකුට අභිධර්ම පිටකය සම්පාදනය කර එය බුද්ධදේශනයක් ලෙස, රහස එළි නොවන ලෙස දිගු කලක් උගැන්වීම නොකළ හැකිය. යම්කිසි දවසකදී කාරණය ඒකාන්තයෙන් ප්‍රසිද්ධ වන්නේ ය. ඉන්පසු ඒ ධර්මය උගෙනීමට භික්‍ෂූන් නො වෙහෙසෙනවා ඇත. තමා විසින් යමක් සම්පාදනය කොට එය බුද්ධදේශනයක් ලෙස රටට දීම බරපතළ වරදකි.
අභිධර්ම පිටකය වැනි විශාල දෙයක් පිළියෙළ කොට යමෙකු විසින් එය බුද්ධදේශනාවක් ලෙස ප්‍රකාශ කරන්නට පටන්ගතහොත් එය ඉතිහාස ගතවන අපරාධයකි. මෙතරම් මහත් වංචාවක් යමකු විසින් කරන ලද නම්, ඒකාන්තයෙන් එය හෙළි වන්නේ ය.එහෙත් අභිධර්මය බුද්ධදේශනයක් නොවෙතියි කියන කිසිවකු අභිධර්ම පිටකය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කිරීමට සමත් වී නැත. එයින් පෙනෙන්නේ අභිධර්මය බුද්ධ දේශනයක් නොවේ යයි කීම ම බොරුවක් බවය. අභිධර්මය අබුද්ධ දේශනයක් බව ඔප්පු කරන්නට නම් එය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කළ යුතුය. බුද්ධදේශනාවකැයි කියා ඒ ධර්මය සම්පාදනය කිරීමේ හේතුව දැක්විය යුතුය.

මුලින් සම්පාදනය කළ තැනැත්තා ගෙන් අභිධර්මය උගත් භික්‍ෂූන් සම්පාදකයාගේ නම යටපත් කොට එය බුද්ධ දේශනාවක් ලෙස ප්‍රකාශ කරන්නට පටන් ගත්තා නම් එය වංචාවක් පමණක් නොව ගුරුද්‍රෝහීකමක් ද වන අපරාධයකි. කිසිම ප්‍රයෝජනයක් නැතිව එබඳු අපරාධයක් භික්‍ෂූන් විසින් කරන ලදැයි පිළිගැනීමට කරුණක් නැත.
අභිධර්ම පිටකය ප්‍රථම ද්විතීය සංගායනාවලදී සංගීත නොවූ බව කියන අය තෘතීය සංගායනාවේ දී එය සංගීත වූ බව පිළිගනිති. විනය අටුවා කියන හැටියට ඒ සංගීතිය ත්‍රිපිටකධාරී රහතන් වහන්සේ දහසක් විසින් කරන ලද්දකි. ඒ රහත්හු බුද්ධ දේශනයකැයි රැවටී අභිධර්මය උගත්තෝද? නැතහොත් උන්වහන්සේ බුද්ධභාෂිතයක් නොවන බව දැන ගෙනම එය බුද්ධභාෂිතයක් වශයෙන් සංගායනා කළෝද? නැතහොත් විනය අටුවාවෙහි සඳහන් වන ඒ පුවත බොරුවක් ද? බොරුවක් නම් එය විනය අටුවාවට ඇතුළත් කළේ කුමටද? යන මේ ප්‍රශ්න විසැඳීම අභිධර්මය අබුද්ධදේශිතයක් බව කියන භවතුන්ට භාර කරමු.
ඉදිරිපත් කිරීම:
කඩවත ගුණානන්ද හිමි

Tuesday, October 30, 2012

WHAT THE BUDDHA TAUGHT by Walpola Rahula





The Buddha


The Buddha, whose personal name was Siddhattha (Siddhārtha in Sanskrit), and family name Gotama (Skt. Gautama), lived in North India in the 6th century B.C. His father, Suddhodana, was the ruler of the kingdom of the Sākyas (in modern Nepal). His mother was queen Māyā. According to the custom of the time, he was married quite young, at the age of sixteen, to a beautiful and devoted young princess named Yasodharā. The young prince lived in his palace with every luxury at his command. But all of a sudden, confronted with the reality of life and the suffering of mankind, he decided to find the solution – the way out of this universal suffering. At the age of 29, soon after the birth of his only child, Rāhula, he left his kingdom and became an ascetic in search of this solution.

For six years the ascetic Gotama wandered about the valley of the Ganges, meeting famous religious teachers, studying and following their systems and methods, and submitting himself to rigorous ascetic practices. They did not satisfy him. So he abandoned all traditional religions and their methods and went his own way. It was thus that one evening, seated under a tree (since then known as the Bodhi- or Bo-tree, ‘the Tree of Wisdom’), on the bank of the river Nerañjarā at Buddha-Gaya (near Gaya in modern Bihar), at the age of 35, Gotama attained Enlightenment, after which he was known as the Buddha, ‘The Enlightened One’.

After his Enlightenment, Gotama the Buddha delivered his first sermon to a group of five ascetics, his old colleagues, in the Deer Park at Isipatana (modern Sarnath) near Benares. From that day, for 45 years, he taught all classes of men and women – kings and peasants, Brahmins and outcasts, bankers and beggars, holy men and robbers – without making the slightest distinction between them. He recognized no differences of caste or social groupings, and the Way he preached was open to all men and women who were ready to understand and to follow it.

At the age of 80, the Buddha passed away at Kusinārā (in modern Uttar Pradesh in India).

Today Buddhism is found in Ceylon, Burma, Thailand, Cambodia, Laos, Vietnam, Tibet, China, Japan, Mongolia, Korea, Formosa, in some parts of India, Pakistan and Nepal, and also in the Soviet Union. The Buddhist population of the world is over 500 million.