“ අප දෙදෙනාම එකම නිෂ්ටාව ලත් අය නොවේ ද? දෙදෙනාටම ඇත්තේ ද එකම ගුරුවරයා ය. ප්‍රතිවේධ කළේද එකම ධර්ම ය යි. අනුගමනය කළ මාර්ගයන් එකම යි. අප දෙදෙනාම ලැබූ ඵලප්‍රාප්තියත් එකම යි. එහෙම නම් මොකක්ද අප දෙදෙනාගෙ වෙනස?.” කොට්ඨිතයන් වහන්සේට එහෙම හිතුණද? අනේ නැහැ. දස සංයෝජනම දුරු කළ උන්වහන්සේ ළඟ මානය සියුම් මාත්‍රයක්වත්, අපේ කාලෙ සම සහතික ලත් අය ළඟ වාගෙ තිබුණේ නැහැ. “ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නුවණින් දෙවැනි වන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණ යි. උන් වහන්සේ මහා ප්‍රාඥ යි. ඒ ප්‍රඥාවට කවුරුන්ගේ ප්‍රඥාව සම කළ හැකි ද? මේ වාගෙ උතුමකුගේ ඇසුර ලැබෙන එකත් මහා භාග්‍යයක් ම යි. යන්න ඕනෑ උන්වහන්සේගෙන් ධර්ම කාරණයක් ගැන විමසා දැනගන්න.”
මේ විදිහටයි ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේට සිතුණේ.මෙහෙම හිතලා නිහතමානීව සතුටු සිතින් යුක්ත වූයේ ශාන්ත ගමනින් සාරිපුත්තයන් වහන්සේ සිටි තැනට උන්වහන්සේ වැඩම කළ සේක. සතුටින් ඔබ මොබ දුව පැන ඇවිදින මුව පොව්වන් දෙස සිවු බඹ ෂහරණයෙන් යුතුව බලා සිටි සාරිපුත්තයන් වහන්සේට , කොට්ඨිතයන් වහන්සේගේ පැමිණීම නිරාමිස සතුටක් ගෙන දුන්නේ ය. නිවුණු ඇත්තෝ, නිවුණු ඇත්තන් සමඟම අගේට ගැලපී පෑහී යෙත්. ක්ලේශ පරිනිර්වාණයෙන් ලෝකය ඉක්මවා ගිය උතුමන් දෙදෙනෙක් මුණ ගැසුණු තැන කුමක් නම් කථා කරන්නට ඇද්ද? රට තොට දේශය ගැන ද? අනෙකුත් සව්වන්ගේ කුදු මහත් කටයුතු ගැන වගතුග ද? තම තමන් අතීතයේ කළ කී දෑ ද? වැස්ස, අවුව, ගහකොළ , සතා, සිව්පාවා ගැන ද? මේ සියල්ල ඉක්මවා ගිය අයට ඒවා ගැන කවර කථා ද? මෙය, කොට්ඨිතයන් වහන්සේ තම පාලුව මකා ගන්නට ආ ගමනක් නොවේ.
හරිම සුහද හමුවක්! සතුටුවිය යුතු පිළිසඳරක පමණක් යෙදුණු කොට්ඨිතයන් වහන්සේ එකත්පස්ව අසුන්ගෙන ඉතා වැදගත් ධර්ම කාරණයක් සාරිපුත්තයන් වහන්සේගෙන් විමසූ සේක. ඒ කුමක් නිසා ද සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව උරගා බලන්නට ද? එක් කෙනෙක් මෙහෙම කියනවා, ඔබ වහන්සේ ඒ ගැන කොහොමද සිතන්නෙ කියල දැන ගන්නද? තමන්ගේ දැනුම සමග සසඳා බලන්නද? නැත, මේ එකක්වත් නිසා නොවේ. අපූරු ධර්ම සාකච්ඡාවක් මෙතැන දී ආරමභ වීය. ප්‍රතිවේධ කර ගත් දහමක් වුවත් නැවත නැවත විමසමින් සුදුසු කාලයෙහි සාකච්ඡා කරන්නට, එමගින් ධර්ම රසය උපේක්‍ෂාවෙන් ලබන්නට රහත් ශ්‍රාවකයන් වහන්සේ ද කැමැත්තෝය. නෛර්යානික ශ්‍රී සද්ධර්මය, සේඛ, අසේඛ දෙපක්‍ෂයටම රසයක් ම ගෙන දෙයි. මහා ප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරනු අසන්නට අකැමැති කවුරුද?
ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ මෙසේ අසති.
“කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්ත, චක්ඛු රූපානං සඤ්ඤෝ ජනං , රූපා චක්ඛුස්ස සඤ්ඤෝජනං?”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස! ඇස තියෙන්නෙ රූපවලට බැඳිලද? නැත්නම් රූප තියෙන්නෙ ඇසට බැඳිල ද?”
ඇසෙන් රූප දකිනවා . රූපයක් දුටු විට ඒ රූපය සමග බැදී යනවා. ඒ බැඳීම නිසා නැවත නැවත බලන්නට පෙළෙඹෙනවා. මේ බැඳීම කොහොම එකක් ද? ඇස රූපයට බැඳිලද? නැත්නම් රූපය ඇසට බැඳිලද? ඉතින් ඔය ප්‍රශ්නය අපෙන් කවුරු හරි ඇසුවොත් අපටත් බැරියැ ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙන්න, වැඩි ඈතට සිතන්න ඕනෑ නැහැනේ. ඇස තමා රූප වලට බැඳිල තියෙන්නේ. වැඩි දෙනෙක් ළඟ ඔය උත්තරේ තියෙනවා ම යි. ඇස නැත්නම් රූප සමග බැඳීමක් කොයින් ද? තව ටිකක් කල්පනා කරපු කෙනෙක් කියාවි, රූපයයි ඇසට බැඳෙන්නෙ කියල. බලපුවම ඒකත් හරි වාගෙ, තවත් කෙනෙක් කියාවි ඇසත් රූපයට බැඳිල, රූපයත් ඇසට බැඳිල කියල. ඒ පිළිතුරෙන් ආඳෙකු මෙන් ප්‍රශ්නයෙන් ලිස්සල යන්නත් පුළුවන්, ඇයි බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නෙ කෝකටත් හරියන දෙයක් කියලා. ඒ වාගෙ ලිස්සලා යන කට්ටියක් ඒ කාලෙත් හිටිය කියලා. ඉතින් මේ ප්‍රශ්නය ඇසූ විට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කොට්ඨිතයන් වහන්සේ දෙස බලා දෙතොල් මඳක් විවර කර මඳහසින් හරි අපූරු පිළිතුරක් වදාළා.
“නඛෝ ආවුසෝ කොට්ඨිත! චක්ඛු රූපානං සඤ්ඤෝජනං න රූපා චක්ඛුස්ස සඤ්ඤෝජනං “ “ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මේ දෙක අතර එහෙම නම් බැඳීමක් කියල දෙයක් ඇත්තෙම නැද්ද? “
“ ඒකාන්තයෙන්ම තියෙනවා කොට්ඨිතයන් වහන්ස”
“පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේ ඔය විදිහටමද කන ගැන කියන්නෙත්? කන ශබ්දයට බැඳිලද? ශබ්දය කනට බැඳිල ද? අනෙක් ආයතන ගැනත් එහෙම ද? නාසය ගඳ සුවඳට බැඳිල ද? ගඳ සුවඳ නාසයට බැඳිල ද? රසය දිවට බැඳිල ද? දිව රසයට බැඳිල ද? කය පහසට බැඳිල ද? පහස කයට බැඳිල ද? මනස අරමුණට බැඳිල ද? අරමුණ මනසට බැඳිල ද? “ “ඒක එහෙමම යි, පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, කන ශබ්දයට බැඳිලත් නැහැ, ශබ්දය කනට බැඳිලත් නැහැ. අනෙක් ආයතන ගැනත් කියන්න තියෙන්නෙ ඒ විදිහමයි.”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඇස, කන, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතන හයත්, රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස ධර්ම යන බාහිර ආයතන හයත් එකිනෙකට ඒවායින්ම බැඳිල නැහැ කියල ඔබ වහන්සේ පවසනවා. ඒ වාගේම ඒවා ඒකාන්තයෙන්ම බැඳිලත් තියෙනව කියලා පවසනවා. එහෙම නම් මේ බන්ධනය කොයි වාගෙ එකක් ද? කොහොමද ඇති වන්නෙ?”
“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස! ඒක මෙහෙමයි . ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. නමුත් ඔය දෙක බැඳ තබන බන්ධනයක් තියෙනවා.”
“යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්ද රාගෝ තං තත්ථ සඤ්ඤෝජනං “ “ඇසයි රූපයයි යන දෙක නිසා යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒ ඡන්ද රාගය තමයි ඔය දෙක බැඳ තබන බන්ධනය.”
“ඔය විදිහටමයි කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සමග ශබ්දය ,ගන්ධය, රසය, පහස, ධර්ම බැඳිලා තියෙන්නෙත් ඒ බැම්ම තමයි, ඡන්ද රාගය කීවේ.”
“පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඒ බන්ධනය කොයි වගේ එකක් ද කියල උපමාවකින් පෙන්නල දෙන්න පුළුවන් ද? “
“පුළුවන් පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඒක කොයි වගේ ද? කියනව නම්, කලු ගොනෙකුයි සුදු ගොනෙකුයි කඹයකින් හරි යොතකින් හරි බැඳල තියෙනකොට, කලු ගොනා සුදු ගොනාට බැඳලා කියල කෙනෙක් කියන්න පුළුවන්. තවත් කෙනෙක් කියාවි , සුදු ගොනා කලුගොනාට බැඳලා කියල. ඒ දෙකම හරි කියමන් ද? “
“ නැහැ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස”
“අන්න ඒ වගේ තමයි. කලුගොනා සුදු ගොනාගේවත් සුදුගොනා කලුගොනාගේවත් බන්ධනය නොවෙයි. ඒ දෙදෙනා බැඳල තියෙන කඹය හරි යොත හරි තමා බන්ධනය. ඒ විදිහටමයි අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලත් නැහැ. බාහිර ආයතන හය අභ්‍යන්තර ආයතන හයට බැඳිලත් නැහැ. ඡන්ද රාගය අර ගොන් දෙන්නා බැඳල තිබුණු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා බැඳල තිබුනු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා තියෙන බන්ධනය, ඡන්ද රාගයක් උපදිනවා නම් විතරයි , ඒ බැඳීම සිද්ධ වන්නෙ.”
“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලා ගියා නම්, රූපය ඇසට බැඳිල ගියා නම් කාටවත් දුක් නැති කිරීම පිණිස නිර්වාන මාර්ගය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නැහැ. ඇසයි රූපයයි තියෙන ඒවාමයි. ඒ දෙක එකට බඳින ඡන්ද රාගය අශ්‍රැතවත් පුද්ගලයා තුළ උපදින එකක්. ශ්‍රැතවත් ආර්යයන් වහන්සේ ඒ ඡන්ද රාගය ක්‍ෂය කරලයි තියෙන්නෙ. ඡන්ද රාගය ක්‍ෂය කළ හැකි දෙයක්.”
“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේටත් ඇස තියෙනවා. ඇසින් රූපත් දකිනවා. අනෙකුත් ආයතනත් තියෙනවා. නමුත් උන්වහන්සේට අර කියූ බන්ධනය නැහැ. ඡන්ද රාගය නැති කරලයි තියෙන්නෙ.” “ඇස රූපයට බැඳිලා ගියා නම් මොකද වන්නෙ? ඇස තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. රූපය ඇසට බැඳිලා තිබුණා නම් රූප තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. නමුත් මේ බන්ධනයෙන් මිදෙන්න නම් සිඳ දැමිය යුත්තේ ඡන්ද රාගය කියන යොතයි. අන්න එදාට මේ බ්‍රහ්මචරියාව සම්පූර්ණ වනවා. ශාස්තෘන් වහන්සේ අපට කියා දුන්නේ මෙන්න මේ ඡන්ද රාගයේ ආස්වාදය ගැන යි. ආදීනවය ගැන යි. නිස්සරණය ගැන යි. ඉතින් යම් කෙනෙක් යම් මොහොතක මේ ඡන්ද රාගය කියන බන්ධනය සිඳ දැම්මේ නම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම නිරුද්ධ වී යනවා. එයාට සියලු දුක් නැති කිරීම පිණිස තවත් කළ යුතු දෙයක් නැහැ.”
“සාධු! සාධු! ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමය හරිම ආශ්චර්ය යි. මේ කාරණය මේ තරම් පිරිසුදුව අසන්නට ලැබුණු එක, මොන තරම් භාග්‍යයක් ද?
මේ උතුම් ධර්ම කාරණය පිරිසිඳ සාකච්ඡා කිරීමෙන් ඒ රහතන් වහන්සේ ;දනමම සතුටට පත් වුණා. ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ ඒ සෙනසුනෙන් නික්මී තම සෙනසුන වෙත ශාන්ත ගමනින් වැඩම කළා.
සං.නි.4, සළායතන වර්ගයේ
කොට්ඨිත සූත්‍රය ඇසුරෙනි
No comments:
Post a Comment