Sunday, May 29, 2011

ප්‍රඥා භාවනාවට සරලව උපදෙස් බුදු බව පතන උතුමෙක් වෙතින්

සතිපට්ඨාන ධාතුමනසිකාර භාවනා
විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න
ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන යටතේ අප විසින් ඔබට ඉදිරිපත් කරන ලද්දේ බුදු පියාණන් වහන්සේ විසින් තමාගේ උසස්ම ප්‍රඥාවන්තයන්ට පිළිපැදීමට නියම කරන ලද, කායගතාසති භාවනාවට උපකාරක ද්වා චත්තාලීසාකාරය (42) ලෙසද හඳුන්වන ශරීරයේ ධාතු කොටස් 42, ඒවාට අදාල උපමා හා උපදින හේතු සියල්ලයි. ධර්මයේ පංචස්කන්ධයටම , ඉතා අරුත්බර උපමා, බුදු පියාණන් වහන්සේ විසින් වෙන වෙනම සපයා ඇත. එයින් අපගේ මෙම රූප කය අයත්වන රූප උපාදාන ස්කන්ධය උපමා කර ඇත්තේ පෙණ පිඩකටයි. එය ඔබට හොඳින් මතක තබාගැනීම පිණිස මෙම පොතේ පිට කවරය නිර්මාණය කර ඇත.
එම භාවනාව කිරීමේ ආනිසංස සපයා ඇති වි. පොතේ (E-Book) දැක්වෙන්නේ මෙලෙසයි.
ධාතුමනසිකාර භාවනා ආනිසංස
විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න
විදර්ශනා භාවනාව නිවනට ඇති කෙටිම මගයි. සමථ භාවනාවෙන් පටන් ගත යුතුමයි කියා නියමයක් ද නැත. එය පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි පැහැදිලි කරන්නේ මෙලෙසයි.
මහ නාහිමි අවවාදය
විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න
මෙම වි. පොත හා නිරූපන උපරිමයෙන් උපයෝගී කරගෙන, ඔබට මේ භවයේදීම මාර්ග ඵල ලඟා කර ගැනීමේ වාසනාව ඇතිදැයි අත්හදා බලන්න. මාර්ග ඵල ලාභියා වනාහී කිසිවිට මරණයට බිය වන්නෙක් නොවේ. මක් නිසාද? එම උතුමෝ කිසිවිට ඉදිරියේ දුගති උප්පත්ති නොලබන බැවිනි. මිය යන විට නියත ගති සහිතව මිය ගියා වන්නේ එවන් උතුමන් පමණි.  සෝවාන් ඵලයේ පමණක් වටිනාකම අප විසින් කලින් ඉදිරිපත් කරන ලදි. එය අසා, කියවා බලා, මෙම දුර්ලභ මිනිස් භවය උපරිම ඵලදායීතාවයට පත් කර ගැනීමට අදම වෙහෙස වීමට පටන් ගන්න.

Personality Building: පෞර්ෂ වර්ධනයට නොවරදින මගක් ඇතිද?

අද ලෝකයේ බොහෝ දෙනෙක්ට ඇති විශාල උවමනාවක් නම් සිය පෞර්ෂය වර්ධනය කර ගැනීම (Personality Building) බව අපට පෙනෙන පැහැදිළි කරුණකි. මේ සඳහා උවමනාව ඇත්තවුන් නොකරන වියදමක් නැත. සම්මන්ත්‍රණ, වැඩමුළු, පාඨමාලා, සහතික ආදී, එකී, මෙකී, නොකී දහසකුත් එකක් දේ මේ වෙනුවෙන්ම නිර්මාණය වී ඇත්තේ එහි ඇති වෙළඳ වටිනාකම දකින්නෝද දිනෙන් දිනම වැඩි වන බැවිනි. අවාසනාවක මහත, මෙසේ වෙළඳපොළක් උපදවන, ඉගැන්වීම් කරන, සහතික ප්‍රධානය කරන කිසිවෙකුත්, එය තවෙකෙකුගේ ගොඩ නැගීමට පෙර, වෙනකක් තබා, 100% නිවැරදිව, කිසිවෙකුටත් අභියෝග කල නොහැකි ලෙස, පෞර්ෂත්වය යන්න අර්ථ නිරූපනයක් ඉදිරිපත් කිරීමටවත් සමත් වෙතැයි අපි නම් නොසිතමු. මන්ද?..එම ඉගැන්වීම් සියල්ල,..පැහැදිලිවම අඳුරේ අත පත ගෑම් විනා කිසිදු ගැඹුරක් නොමැති, බටහිරයන් විසින් හරි යයි සිතා ගත්, ගෙඩි පිටින් ආනයනය කර මෙරට වෙළඳ පොළට අත හරින අරුත් සුන්, ප්‍රථිඵල කිසිවක් නොලැබෙන ක්‍රමයන් පමණක් බැවිණි.
පෞර්ෂ වර්ධනය යනු, ඒකාන්තයෙන්ම සෑම අයෙක්ම නොවැරදීම ලබා ගත යුතුම අතිශය වටිනා දෙයකි. පෞර්ෂත්වය යනු කුමක්දැයි, අපි අපගේ අර්ථ කථනය මෙසේ ඉදිරිපත් කරමු. මෙහි සියුම් හෝ දොසක් ඇතොත් එය පෙන්වා දෙන ලෙසද ඕනෑම අයෙක්ට අපි ආරාධනා කරමු.
ඕනෑම පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය තුන් ආකාර වේ. එනම් එම පුද්ගලයාගේ මානසික පෞර්ෂත්වය, කායික පෞර්ෂත්වය හා වාචසික පෞර්ෂත්වයයි. පුද්ගලයෙක් එම තුන් ආකාරයෙන්ම ඉහලට යන්නේ නම් පමණක් පෞර්ෂ වර්ධනයක් වන බව මේ අනුව තේරුම් ගත යුතු වේ. මෙවායින් , කායික හා වාචසික යන පෞර්ෂත්ව කොටස් බාහිර ලෝකයාටද පෙනෙන දැනෙන දේවල් වන අතර, මානසික පෞර්ෂත්ව මුළින්ම දැනෙන්නේ තමාටම පමණි. ක්‍රමයෙන් එය තමාගේ සමීපතමයන්ටද, අනතුරුව ලෝකයාටද දැනෙන විට තමා ඉතා සතුටු දායක පෞර්ෂත්වයක හිමි කරුවෙක් බව තමාටම සතුටු විය හැකි තත්වයට පැමිණේ. මෙම තුන් ආකාරයේ පෞර්ෂත්ව වර්ධනය කර ගැනීම පිණිස කල යුත්ත ඉතාම පැහැදිළිය. එනම් එම තුන් ආකාරයෙන් එක එකක් හරහා සිදුවිය හැකි භයානක වැරදි වළකා ගැනීමයි.
 වළකා ගැනීමට නම් ඒවා මොනවාදැයි  මුළින්ම හඳුනාගත යුතුය. මුලින්ම අපි වචනයෙන් යමෙක් අතින් සිදු විය හැකි භයානක වැරදි මොනවාදැයි බලමු. වාසනාවකට ඒවා ඇත්තේ 4 ක් පමණි.
1. බොරු කියන්නෝ මෙලොවම නින්දාවට භාජනය වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. එබැවින් උසස් පෞර්ෂත්වයක් උවමනා කවරෙක් වුවද, බොරු කීමෙන් උපරිම වැර යොදා වැළකිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් බොරු කීමෙන් වලකින්න.
2. කේළාම් කීම යමෙක්ගේ වාචසික පෞර්ෂත්වයට දෙවනුව හානිදායකම වැරැද්දයි. සත්‍යයක් හෝ අසත්‍යයක්, හුදෙක් අනුන් බිඳවීමේ චේතනාවෙන්ම කීම වාචසික පෞර්ෂත්වය වනසා ගැනීමට හේතු වේ. මෙහිදී ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්ත නම්, යමෙකුට විය හැකි අන්තරාවකින් මුදවාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යමෙක් සත්‍යක් ප්‍රකාශ කල විට, එයින් පුද්ගලයන් අතර බිඳීමක් ඇති වුවද, එයින් වාචසික පෞර්ෂයට හානියක් නොවන බවයි. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, අනුන් බිඳවීමේ චේතනාවෙන් කේළාම් නොකියන්න.
3. නපුරුවචන කීමෙන් අනුන්ගේ සිත් රිදවීමට ලක්වේ. කියන්නා කෙරේ අප්‍රසාදයක් මතු වීම වැලකිය නොහැක. එවිට එය කියූ තැනැත්තාගේ පෞර්ෂත්වයට කරන හානිය ද නොවැලැක්විය හැකිය. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන නීතිය, හැකි උපරිමයෙන් නපුරු වචනයෙන් වලකින්න.
4. හිස් වචන හෙවත් සම්ඵප්‍රලාප යනු කියන්නාට හෝ අසන්නාට යන දෙදෙනාටම ප්‍රයෝජනයක් නොමැති කතා බැවින්, එයින් දෙදෙනාගේම වටිනා කාලය විනාශ කර දැමේ. මේ හේතුවෙන් වැදගත් වැඩ අතපසු වූ විට, හිස් වචන කියූ අය පිළිබඳ යහපත් ආකල්ප ගොඩ නොනැගේ. එය එම පුද්ගලයාගේ  පෞර්ෂත්වයට විශාල හානියකි. එබැවින් ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු හතරවන හා අවසාන නීතිය, හැකි උපරිමයෙන් හිස් වචනයෙන් වලකින්න.
දෙවනුව අපි කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීම කෙසේ කල හැකි දැයි බලමු. මෙහිදී ඔබ ප්‍රවේශම් විය යුතු කයින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් අඩුම තරමින් වැලකීම ප්‍රමාණවත් වේ.
1. සතුන් මැරීම, අද ලෝකයේ ඉතා සාමාන්‍ය දෙයක් වන තරමටම සුලභ වී තිබේ. මෙයට හේතු වී ඇත්තෙ, එහි විපාක එම මොහොතේම නොලැබීමයි. මිනිසුන් මරා දමන්නවුන් ලෝකයා විසින් ඉතාම පිළිකුල් කරනු ලබයි. වෙනත් සතුන් මරන්නෙක් වුවද සමාජය විසින් කිසි විටකත් උසස් ලෙස පිළි නොගනී. මස් කඩ කාරයා, මස් මරන්නා, බිළී වැද්දා යනාදී වශයෙන් රැකියා නම පවා සමච්චල් ආකාරයටම ඔවුන්ට යෙදීම ස්වභාවිකවම සිදුවේ. එය කිසිසේත්, උසස් පෞර්ෂයක් අවැසි පුද්ගලයෙක් බාර ගැනීමට කැමති වන තත්වයක් නොවේ. ඔබට  කායිකපෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් සතුන් මැරීමෙන් වලකින්න.
2. සොරකම් කරන්නා බොහෝ නින්දා ලබන්නෙක් වේ. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබයි. සමහර විට අනුන්ගේන් පහර කා තිරිසනුන් සේ තැන් තැන් වල මැරෙති. උසස් රැකියාවක් කරන්නෙක් වුවද, සිය බලතල භාවිත කරමින් සොරකම් කල විට එම පුද්ගලයා සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙය පෞර්ෂය ගැන සැලකිලිමත් කිසිවෙකුත් විසින් මුහුණ දීමට කැමති දෙයක් නොවේ.  ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, කිසිවිට සොරකම් නොකරන්න.
3. අයථා ලිංගික සබඳතා පුද්ගලයන්ට කරන හානිය සුලු පටු නොවේ. මොවුන් නින්දාවට භාජනය වේ. ඉතා දරුණු ලෙස පහර කයි. මරණයට පවා පත් වෙයි. නීතියෙන් පවා දඬුවම් ලබයි. එවන් අයෙක් කිසිසේත් උසස් පෞර්ෂයකට හිමි කම් කියන්නෙක් නොවේ.  එබැවින් ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, අයථා ලිංගික සබඳතා වලින් වලකින්න.
තෙවනුව කිසිවෙකුටත් නොපෙනෙන, ඔබ විසින් ගොඩ නගා ගත යුතු මානසික පෞර්ෂත්වය කුමක්දැයි බලමු. මෙහිදී ද ඔබ ප්‍රවේශම් විය යුතු මනසින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් වැලකීම කල යුතුය
1. දැඩි සේ කෝප වීම, අනුන් නැසේවා යැයි සිතීම කරන්නා කිසිවිට ප්‍රසන්න මානසිකත්වයක් හෝ පෙනුමකට හිමිකම් කියන්නෙක් නොවේ. මුහුණ හදවතේ කැඩපත ලෙසද හැඳින්වෙන බැවින් එවන් පුද්ගලයන්ට හොඳ පෞර්ෂයක් යනු සිහිනයක් පමණි. ඔබට  මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් කෝප ගැනීමෙන් වලකින්න.
2. අන් සතු වස්තුවට දැඩි සේ ඇලුම් කරන්නා අතින් නිවැරදි කල නොහැකි සේ දරුණු වැරදි සිදුවේ. වාචසික, කායික පෞර්ෂත්වයන් වනසන ක්‍රියාවලට අඩිතාලම මෙයින් යෙදෙන බැවින්, ගොදුරු වන්නා ගේ පෞර්ෂ වර්ධනයට එය දැඩි බාදාවකි. ඔබට  මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, හැකි උපරිමයෙන් අන් සතු වස්තුවට ඇලුම් කිරීමෙන් වලකින්න.
3. මිථ්‍යාදෘෂ්ටිය හෙවත් බුදු දහමේ පරම සත්‍ය පිළි නොගැනීම යම් පුද්ගලයෙකුගේ මානසික පෞර්ෂත්වය වනසා දමන තුන්වන කාරණයයි. මෙය ලබා ගැනීම නම් ඉතාම දුෂ්කර වූවකි. බෞද්ධයන් පවා විවිධ මිථ්‍යාදෘෂ්ටීන්ගේ ගොදුරු බවට පත් වීමේදී අනෙකුත් කලින් කාරණාද සමඟ මෙයින් ජය ගන්නා උත්තම පුද්ගල තත්වයටම පත් වන්නෙක් වේ. පෞර්ෂත්වය කෙතරම් බලගතු දැයි කීවොත්, කොටින්ම ලෝක පූජිත වේ. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මුළු ලෝකයේම පූජාවන්ට පාත්‍ර වන්නේ මෙම අසම සම පෞර්ෂත්වය නිසාම බව ඔබ තේරුම් ගත්තාද? ඔබට මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දෙසූ ලෙස මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ යෙදෙන්න.
ඉහත පෞර්ෂ වර්ධනය, අපගේ සොයා ගැනීමක් නොව, අමා මෑණී, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශිත බුදු දහමේ මූලික හරයයි. පහත ධර්ම පතිකාවද හොඳින් විමසා බලන්න. ඔබ දස අකුසල් කර්ම පථ වලින් වැලකීමට උත්සාහ කරන්නෙක් නම් ඔබ දැනටමත් එම උතුම් පෞර්ෂත්වය දිනා ගැනීම පිණිස උත්සාහ කරන්නෙකි.
දස අකුසල් කර්ම පථ, සතර පොහොය, ජවන් සිත් 7 හි විපාක බලය
විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

දින පතා ඔබ, තිසරණය යාමෙන් පසු, මෙම කාරණා සියල්ල ඇතුලත් වනසේ ඔබ ගේ ශීල සමාදානය ලෙස තමාටම පහත කාරණා සපථ කර ගන්න. ඔබගේ පෞර්ෂ වර්ධනය කිසිවෙකුටත් වැළකිය නොහැකි ලෙස නොමිළේම සිදු වේවි. පෘතග්ජන අපගෙන් කළින් ඕනෑ තරම් වැරදි සිදු වී තිබිය හැක. ඒවාට කණගාටු වීමද කෙළෙස්ම පමණක් බැවින් (කුක්කුච්ඡ ) අපගේ ශීල සමාදානය පහත පරිදි ඉතා පිරිසිඳුව, ඒ නික්ලේශී රහතන් වහන්සේලාවද ආදර්ශයට ගනිමින් සිතේ සතුටෙන් කළ හැක.
1. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, ව්‍යාපාදයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
2. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, අභිධ්‍යාවෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
3. මෙතැන් පටන් මම, සිතින් සිදුවිය හැකි, මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ  යෙදෙන්නෙමි. රහතන් වහන්සේලා විසින් ඉතිරි නැතිවම ප්‍රහාණය කරන ලද්දක් සඳහා උත්සාහ කරමි.
4. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, ප්‍රාණඝාතයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
5. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, සොරකම් කිරීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
6. මෙතැන් පටන් මම, කයින් සිදුවිය හැකි, කාමමිථ්‍යාචාරයෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
7. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, බොරු කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
8. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, කේළාම් කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
9. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, නපුරුවචන කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
10. මෙතැන් පටන් මම, වචනයෙන් සිදුවිය හැකි, හිස් වචන කීමෙන් වළකිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි
මීට අමතරව, ඔබ වඩාත් පුරුදු කරන ලද ඕනෑම ශීලයක් සමාදන් වීම තව තවත් ඔබගේ වටිනාකම/පෞර්ෂත්වය ඉහල දැමීමට ඒකාන්තයෙන් සමර්ථ වේ. එනම් පන්සිල්, අජීව අෂ්ඨමක ශීලය. නවාංග උපෝසථ ශීලය, හැකි නම් දස ශීලය යන ඕනෑම එකක් භාවිත කිරීම ඔබට මෙලොව පරලොව සියළු සම්පත් ගෙන දීමට සමර්ථ වන්නේ එම බලගතු ශීල සමාදාන කුසළයන්ගේ සුඛ විපාක වශයෙනි.
බෞද්ධයෙක් විසින් දවස පටන් ගත යුතු ආකාරය දැක්වූ අපගේ ලිපි මාලාවේ 5 වන පියවර මෙය ලෙස අපි හඳුන්වා දෙන්නෙමු.මෙම ලිපිය බෙදා හැරීමෙන් ඔබ හඳුනන සියළු බෞද්ධයෝ උපාසක, උපාසිකා රත්නයන් බවට පත් කිරීමට සහය වන්න.

Saturday, March 26, 2011

Tuesday, March 22, 2011

මිනිස් දිවිය ගැන දෙසූ වැව උපමා කර ගත් බණක්

රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන හිමි
සාරක්ථප්පකාසිනියේ පැවසෙන පරිදි ලොව ප‍්‍රශ්න විචාරීම් ක‍්‍රම පහකි. සම්මා සම්බුදුවරුන්ට ඇත්තේ ඉන් ප‍්‍රශ්න කිරීම් දෙකක් පමණි. ප‍්‍රශ්න විචාරණ ක‍්‍රම පහ මෙසේ ය.

1. අදිට්ඨජෝතනා ප‍්‍රච්ඡාව
2. දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව. පුහුදුන් බමුණු පඬිවරු ආගමික ශාස්තෘවරුන් තුළ ඇත.
3.විමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව
4.අනුමති ප‍්‍රච්ඡාව
5. කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව . සම්බුදුවරුන් තුළ ඇත.

ස්වභාවයෙන්ම යමෙක් නොදුටු, නොඇසූ, නොසිතූ, අප‍්‍රකටවූ දහම් කරුණක් වේද එය ඔහුට විස්තර, විවරණ කරදීම් සඳහා හෙවත් නොදුටු (අදිට්ඨ) කාරණයක් ප‍්‍රකාශිත (ජෝතනා) කිරීම, බැබළවීම සඳහා අසන ප‍්‍රශ්නය “අදිට්ඨජෝතනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
ස්වභාවයෙන් දැනගත්, දැක ගත්, අත්දුටු දහම් කරුණක් අනෙකුත් පඬිවරුන්ගේ දර්ශන සමය, සමයාන්තර සමඟ සැසඳීම (සංසන්දනා) මූලික කරගත් ප‍්‍රශ්න කිරීම, “දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
වභාවයෙන්ම සැක සහිත වූ විමති සහිත වූ දහම් කරුණක් පිළිබඳ එය එසේම ද? කවරකාරද? ආදී වශයෙන් පවතින සැක සංකා (විමති) දුරුකිරීමට, සිඳ දැමීමට (ඡේදනා) මූලික වන ප‍්‍රශ්න කිරීම “මිමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
භික්‍ෂූන් වහන්සේගේ අනුමැතිය ගනිමින් සිදුකරන ප‍්‍රශ්න කිරීම “අනුමති ප‍්‍රච්ඡාව“ නම් වේ. “රූපය අනිත්‍යද? නිත්‍යද?” ආදී වශයෙන් සාකච්ඡාමය ස්වරූපයෙන් මෙම ප‍්‍රශ්න කිරීම සිදුවෙයි. යම් දහම් කරුණක් පිළිබඳ විග‍්‍රහ කරනු කැමැති ව ප‍්‍රශ්න ආසා, පිළිතුරු බුදුරජාණන් වහන්සේම දීර්ඝව සාකච්ඡා කිරීම “කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව“ නම් වේ. මහණෙනි, මේ සසුනෙහි සතිපට්ඨාන ධර්ම සතරකි. කවර සතරක්ද? යනාදී ස්ථාන ඊට උදාහරණ වේ.
මෙසේ දැක්වෙන ප‍්‍රශ්න විචාරීම් අතුරින් පරිවිමංසන සූත‍්‍රය කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාවෙන් දේශනා කරන ලද්දකි.
සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ දුක්ඛ වර්ගයට අයත් පළමු සූත‍්‍ර වන එහිදී භික්‍ෂුවක් සිහි කල්පනා ඇතිව පරීක්‍ෂාකාරීව සිටින ආකාරය, ප‍්‍රශ්නෝත්තරයකින් අරඹා පෙන්වා දෙයි.
පටිච්ච සමුප්පාද ධර්මයේ ජාති, ජරා, මරණ, භව, උපාදාන, වේදනා ආදී වශයෙන් ධර්ම කරුණු විග‍්‍රහ කිරීම එම සූත‍්‍රයේ දී සිදු වේ. වේදනාව පිළිබඳ විග‍්‍රහ කරමින් වේදනාවේ ප‍්‍රභේද තුන දක්වා, ඒ පිළිබඳ නිතරම සිහි කල්පනාවෙන් සිටිය යුතු බව පවසයි. එම වේදනා තුන නම්,

1. සුඛ වේදනාව - සැප වින්දනය
2. දුක්ඛ වේදනාව - දුක් සහිත වින්දනය
3. අදුක්ඛ මසුඛ වේදනාව - දුක්, සැප මිශ‍්‍රව වින්දනය

මේ වේදනා ගැන තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගෙන ඒවායෙහි නොගැටී විසිය යුතු බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙති. අනතුරුව තවත් වේදනා දෙකක් පිළිබඳ අපගේ අවධානය යොමුකරවා ඇත.

1. කාප පරියන්තිකං වේදනං - කාය පරියන්තික වේදනාව
2. ජීවිත පරියන්තිකං වේදනං - ජීවිත පරියන්තික වේදනාව

මේ දෙක ද තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන විඳිය යුතු වේ. “කායපරියන්තික” යනු කය හිමිකොට ඇති වේදනාවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ද්වාර පස මඟින් හට ගන්නා හෙවත් පංචද්වාරික වූ වේදනාවයි. “ජීවිත පරියන්තික” යනු දිවි හිම් කොට ඇති වේදනාවයි. මනසින් හට ගන්නා වේදනාවයි. හෙවත් මනෝද්වාරික වේදනාවයි.
මෙහිදී අප මනුෂ්‍ය ශරීරයේ ඇති ඉන්ද්‍රිය සය ඇසුරින් හට ගන්නා වේදනාව දෙයාකාරයකින් විවරණය කර ඇත. ‘සළයතනං’ යනු එම ආයතන සයයි. ‘සළායතන පච්චයා ඵස්සෝ’ සළායතන ප‍්‍රත්‍යවීමෙන් ස්පර්ශය ඇතිවෙයි, හෙවත් ෂඩ් ආයතන, ෂඩ් අරමුණු සමඟ ගැටෙයි. ඒවායේ පහස ලබයි. ඉන් වේදනාවක්, වින්දනයක් ඇති වේ. ‘ඵස්ස පච්චයා වේදනා’ එම වේදනා අයතන අනුව දෙකොටසකට බෙදේ. ඒ කාය පරියන්තික වේදනාව හා ජීවිත පරියන්තික වේදනාව යනුවෙනි.

සළායතන ඵස්ස වේදනා
1.ඇස රූප
2.කණ ශබ්ද
3.නාසය ගඳ, සුවඳ
4.දිව රස
5. ශරීරය පහස කාය පරියන්තික වේදනාව
6.මනස ධර්ම, සිතිවිලි ජීවිත පරියන්තික වේදනාව .

මේ වේදනා දෙක පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක්, සාරත්‍ථප්පකාසිනී නම් සංයුත්ත නිකාය අටුවාවෙහි දක්නට ඇත. බුද්ධඝෝෂ මාහිමියන්ට ඒ සඳහා මහාවිහාරයේ පැවැති සංයුත්ත නිකායික හෙළටුවාවේ ඇසුර ලැබෙන්නට ඇතැයි සිතේ.

පංචද්වාරික වේදනාව (කාය පරියන්තික) පසුව ඉපදී පළමුව නිරුද්ධ වේ. මනෝද්වාරික වේදනාව (ජීවිත පරියන්තික) පළමුව ඉපදී අවසානයට නිරුද්ධ ;ව්. මනෝද්වාරික වේදනාව සත්වයාගේ ප‍්‍රතිසන්ධි ක්‍ෂණයෙහි (පිළිසිඳ ගන්නා මොහොතෙහි) වස්තු රූපයෙහිම පිහිටයි. එසේම ජීවිතාවසානය දක්වාම පවතියි. ඒ අනුව ඉහත දැක්වූ වේදනා දෙක අතුරින් අපගේ ජීවිතයේ වැඩිකාලයක් පවතිනුයේ මනෝද්වාරික වේදනාවයි. පංචද්වාරික වේදනාව පවතිනුයේ ඊට අඩු කාලයකි. පංචද්වාරික වේදනාවෝ පළමු වසර විස්ස තුළ ඇලීම් ,කිපීම්, මුළාවීම් වශයෙන් අධික ප‍්‍රමාණයෙන් බලවත් වේ. වයස අවුරුදු විස්ස හතළිහ අතර දී පසිඳුරන්ගෙන් ලබන උපරිම වින්දනය මානව සත්වයා ලබාගනියි. අවුරුදු පනහක් වන විට ඇලීම් ආදී කි‍්‍රයාවලිය අකි‍්‍රය වෙමින් ඒ කෙරෙහි අරමුණු ගැනීම ටිකෙන් ටික අඩුවෙයි. හැට වැනි විය වන විට පිරිහී ගොස් අසූවිය , අනූවිය සපුරන විට දී අතිශයින්ම දුර්වල වෙයි.

පංචද්වාරික වේදනා ඉතා වයස්ගත වූවන් කෙරෙහි නොපවතින නමුත්, මනෝද්වාරික වේදනාව පවතින්නේය. එයද අනුපිළිවෙළින් පිරිහී ගොස් මරණාසන්න කාලයේදී හදවතේ කෙළවර ඇසුරු කරමින් පවතියි.ඒ මනෝද්වාරික වේදනාව පවතින තාක් කල්ම “සත්ත්වයා ජීවත් වේ” යන්න යෙදේ. මනෝද්වාරික වේදනාව නොමැති වූ විට” සත්ත්වයා මැරුණේ යැ”යි ව්‍යවහාර වෙයි. මෙහි අර්ථ , වැව හා සම්බන්ධ කර, මෙසේ දත යුතුයි.
පුරුෂයෙක් ජල මාර්ග පහකින් සමන්විත වැවක් සාදන්නේය. පළමු වැසි වැටීමෙන් ඒ ජල මාර්ග පහ පිරී. ඉන් ජලය පිවිස , වැව තුළ ඇති ආවාට පුරවයි. නැවත නැවත වැසි වැටෙන කල්හි, ඒ ඒ තැන උතුරා යමින් ජලමාර්ග පිරී ගවුවක් අඩයොදුනක් පමණ තැන් ජලයේ පිරී පවතියි. ඉන්පසු වැසි නැති සමයේදී ජලය පිටකරන වාන් දොරටු හැර දමා, කුඹුරු කර්මාන්ත සිදුකරන කාලයේදී ජලය වැවෙන් ඉවත් කරයි. ශස්‍ය පැසෙන කාලය වන විට වැවේ ජලය ඉතා අඩුවේ. ඒ කාලයේ “මාළු අල්ලමු”යි ගම් වැසියෝ වැවට පැමිණෙති. එවිට ද ආවාට කිහිපයකම ජලය ඉතිරිව පවතියි. එසේ ආවාට වල දිය ඇති තාක් කල් “ වැවේ ජලය ඇත” යන වහර පවතියි. ඒවාද සිඳී ගිය කල්හි “ මහවැව සිඳුණේය “ යන ව්‍යවහාරය ඇති වෙයි.

දහම් කරුණු හා මේ උපමාව සන්සන්දනය කළ යුතු වන්නේ මෙසේ යැයි දත යුතුයි.පළමු වැසි වැටුණු කාලයේ ජල මාර්ග පහක් පිරී ජලය වැව තුළට අවුත් වැවේ ආවාට පිරෙන අවස්ථාව මෙන්, පළමුව පිළිසිඳගන්නා අවස්ථාවේ මනෝද්වාරික වේදනාව වස්තු රූපයන්හි පිහිටන අවස්ථාව දත යුතුයි. නැවත නැවත වැසි වැටෙන කල්හි ජල මාර්ග පහම පිරී ඉතිරී යන අවස්ථාව, පංචද්වාරික වින්දනයන්ම පවතින අවස්ථාව දත යුතුයි. කුසින් බිහිව ගත කරන ළදරු සමය , මෙහිදී අදහස් කැරේ. වැවේ ගවුවක්, අඩයොදුනක් පමණ උසට ජලය පිරී පවතින අවස්ථාව මෙන්, විසි වයස් පමණ වූ තරුණ කාලයේ ඇලීම්, ගැටීම් ආදියෙන් පසිඳුරන් ප‍්‍රබලව , බලවත්ව ඇති අවස්ථාව දතයුතුයි. වැවේ දිය පිරී පවතින කාලය මෙන් විසි විය සිට පනස්විය දක්වා වූ මනුෂ්‍ය ජීවිතයේ කාලය දත යුතුයි.

(මේ කාලයේ බාහිර උපද්‍රව මගින් වැව විනාශ වුවහොත් මහා ව්‍යසනයක් ඇතිවන්නාක් මෙන් මනුෂ්‍යයාද ඉතා පරිස්සම් කරගත යුතු කාලයකි. වැරැදි අංශයට ගියහොත් මහත් ව්‍යසන ඇතිවන බැවිනි.) අනතුරුව ජලමාර්ග විවෘත කර , කෘෂිකර්මාන්තාදිය ඇරැඹූ කල්හි ක‍්‍රමයෙන් වැවේ දිය පිටවී වැව හිස්වන්නාක් මෙන්, වයස අවුරුදු හැටේ සිට ක‍්‍රමයෙන් ඉන්ද්‍රිය පිනවීම් පිරිහී යෑම, දත යුතුයි. දිය මාර්ග වල දිය බැසගොස් අල්ප වූ ජලය පවතින අවස්ථාව මෙන් අසූ - අනූ වියට එළඹි කල්හි පසිඳුරන්ගෙන් ලබන වින්දනය දුර්වල වූ අවස්ථාව දත යුතුයි. ආවාටයන්හි පමණක් දිය ඉතිරිව පවතින අවස්ථාව මෙන්, හදවතේ අග මනෝද්වාරික වින්දනය ඇසුරු කර පවතින අවස්ථාව දත යුතුයි. ආවාටයන්හි ස්වල්ප දියක් ඇති කල්හි ද “ වැවේ ජලය ඇතැ”යි පවසන මෙන්, හදවතේ සිතේ මනෝද්වාරික වින්දනය පවතින තෙක්ම “සත්ත්වයා ජීවත් වෙයි” යන ව්‍යවහාරය පවතී.යම් අවස්ථාවකදී ආවාටයන්හි ජලය ද සිඳී ගොස් “වැවේ දිය නැත. වැව සිඳුණේය. “ යනුවෙන් කියත් ද එමෙන්, මනෝද්වාරික වින්දනය නැති වූ කල්හිම “ සත්ත්වයා මළේය. යන ව්‍යවහාර ඇතිවෙයි.

මෙනිසා ප‍්‍රතිසන්ධික්‍ෂණයේ සිට චුතික්‍ෂණය දක්වාම පවතින වින්දන මනෝද්වාරික වේදනාවයි. පසුව ඇති වී වයස් ගතවීමත් සමඳ ක්‍ෂය වී යන වින්දනය, පංචද්වාරික වේදනාවයි. මේ ගැඹුරු දහම් කාරණය තේරුම් කරදීමට ඉහත දැක්වූ පරිදි සාරත්‍ථප්පකාසිනී අටුවාවේ ගෙන ඇත්තේ ලංකාවේ පමණක් දක්නට ඇති “වැව“ යි වැව පිළිබඳ ගැමි කෘෂිකාර්මික ජනතාවට අටුවාටීකා විවරණ ඇසුරින් විස්තර කළ යුතු නොවේ.

ඔවුන්ට එය ප‍්‍රත්‍යක්‍ෂ කාරණයකි. මේ දැනුම උපයෝගී කරගත් මහාවිහාරික සිංහල තෙරවරු පරිවීමංසක සූත‍්‍රය විවරණය කිරීමේදී කායපරියන්තික හා ජීවිත පරියන්තික වේදනාව විග‍්‍රහ කිරීමට “ වැව“ පිළිබඳ විග‍්‍රහය රැගෙන උපමා උපමේය ගලපමින් ඉතා විසිතුරුව දහම් නැණ විදහා දැක්වූහ. සංයුත්ත නිකායට ලියූ එම මහාවිහාරික සිංහල අටුවාව (හෙළටුවාව) හා මහඅටුවාව ප‍්‍රධාන මූලාශ‍්‍ර කරගත් බුද්ධඝෝෂ මාහිමියෝ සාරත්‍ථප්පකාසිනිය රචනා කළහ.

බුදුගොස් මාහිමි ඉන්‍දීය මධ්‍යදේශ වාසී බ‍්‍රාහ්මණවංශිකයකු බැවින් වැව පිළිබඳ උන්වහන්සේ දැනුමක් නොතිබෙන්නට ඇත. ඒ වාපි සංස්කෘතිය ඇත්තේ ලංකාවේ පමණක්ම වන බැවිනි. එනිසා, මේ වැව උපමාවට යොදා ගත් දහම් විස්තරය, හෙළටුවාවකින්ම ගත් බව ස්ථිරය. ඉන් ප‍්‍රකට වනුයේ අපේ සිංහල මහ තෙරවරු, පරිසරයට ශ‍්‍රාවකයාගේ අත්දැකීම්වලට සසඳමින් සියුම් දහම් කරුණු විග‍්‍රහ කළ බවයි. ගැමියන්ගේ බසින්, ගැමි උපමා උපහැරණ ඇසුරින් දහම් කථා ලියූ ධර්මසේන මාහිමියන්ද (සද්ධර්මරත්නාවලි කතුවර) මෙහිදී අපගේ සිහියට නැගෙයි.
ඔබ සැමට තෙරුවන් සරණයි