රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන හිමි
සාරක්ථප්පකාසිනියේ පැවසෙන පරිදි ලොව ප‍්‍රශ්න විචාරීම් ක‍්‍රම පහකි. සම්මා සම්බුදුවරුන්ට ඇත්තේ ඉන් ප‍්‍රශ්න කිරීම් දෙකක් පමණි. ප‍්‍රශ්න විචාරණ ක‍්‍රම පහ මෙසේ ය.
1. අදිට්ඨජෝතනා ප‍්‍රච්ඡාව
2. දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව. පුහුදුන් බමුණු පඬිවරු ආගමික ශාස්තෘවරුන් තුළ ඇත.
3.විමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව
4.අනුමති ප‍්‍රච්ඡාව
5. කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව . සම්බුදුවරුන් තුළ ඇත.
2. දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව. පුහුදුන් බමුණු පඬිවරු ආගමික ශාස්තෘවරුන් තුළ ඇත.
3.විමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව
4.අනුමති ප‍්‍රච්ඡාව
5. කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව . සම්බුදුවරුන් තුළ ඇත.
ස්වභාවයෙන්ම යමෙක් නොදුටු, නොඇසූ, නොසිතූ, අප‍්‍රකටවූ දහම් කරුණක් වේද එය ඔහුට විස්තර, විවරණ කරදීම් සඳහා හෙවත් නොදුටු (අදිට්ඨ) කාරණයක් ප‍්‍රකාශිත (ජෝතනා) කිරීම, බැබළවීම සඳහා අසන ප‍්‍රශ්නය “අදිට්ඨජෝතනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
ස්වභාවයෙන් දැනගත්, දැක ගත්, අත්දුටු දහම් කරුණක් අනෙකුත් පඬිවරුන්ගේ දර්ශන සමය, සමයාන්තර සමඟ සැසඳීම (සංසන්දනා) මූලික කරගත් ප‍්‍රශ්න කිරීම, “දිට්ඨසංසන්දනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
වභාවයෙන්ම සැක සහිත වූ විමති සහිත වූ දහම් කරුණක් පිළිබඳ එය එසේම ද? කවරකාරද? ආදී වශයෙන් පවතින සැක සංකා (විමති) දුරුකිරීමට, සිඳ දැමීමට (ඡේදනා) මූලික වන ප‍්‍රශ්න කිරීම “මිමතිච්ඡේදනා ප‍්‍රච්ඡාව“ නම් වේ.
භික්‍ෂූන් වහන්සේගේ අනුමැතිය ගනිමින් සිදුකරන ප‍්‍රශ්න කිරීම “අනුමති ප‍්‍රච්ඡාව“ නම් වේ. “රූපය අනිත්‍යද? නිත්‍යද?” ආදී වශයෙන් සාකච්ඡාමය ස්වරූපයෙන් මෙම ප‍්‍රශ්න කිරීම සිදුවෙයි. යම් දහම් කරුණක් පිළිබඳ විග‍්‍රහ කරනු කැමැති ව ප‍්‍රශ්න ආසා, පිළිතුරු බුදුරජාණන් වහන්සේම දීර්ඝව සාකච්ඡා කිරීම “කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාව“ නම් වේ. මහණෙනි, මේ සසුනෙහි සතිපට්ඨාන ධර්ම සතරකි. කවර සතරක්ද? යනාදී ස්ථාන ඊට උදාහරණ වේ.
මෙසේ දැක්වෙන ප‍්‍රශ්න විචාරීම් අතුරින් පරිවිමංසන සූත‍්‍රය කථෙතුකම්‍යතා ප‍්‍රච්ඡාවෙන් දේශනා කරන ලද්දකි.
සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ දුක්ඛ වර්ගයට අයත් පළමු සූත‍්‍ර වන එහිදී භික්‍ෂුවක් සිහි කල්පනා ඇතිව පරීක්‍ෂාකාරීව සිටින ආකාරය, ප‍්‍රශ්නෝත්තරයකින් අරඹා පෙන්වා දෙයි.
පටිච්ච සමුප්පාද ධර්මයේ ජාති, ජරා, මරණ, භව, උපාදාන, වේදනා ආදී වශයෙන් ධර්ම කරුණු විග‍්‍රහ කිරීම එම සූත‍්‍රයේ දී සිදු වේ. වේදනාව පිළිබඳ විග‍්‍රහ කරමින් වේදනාවේ ප‍්‍රභේද තුන දක්වා, ඒ පිළිබඳ නිතරම සිහි කල්පනාවෙන් සිටිය යුතු බව පවසයි. එම වේදනා තුන නම්,
1. සුඛ වේදනාව - සැප වින්දනය
2. දුක්ඛ වේදනාව - දුක් සහිත වින්දනය
3. අදුක්ඛ මසුඛ වේදනාව - දුක්, සැප මිශ‍්‍රව වින්දනය
2. දුක්ඛ වේදනාව - දුක් සහිත වින්දනය
3. අදුක්ඛ මසුඛ වේදනාව - දුක්, සැප මිශ‍්‍රව වින්දනය
මේ වේදනා ගැන තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගෙන ඒවායෙහි නොගැටී විසිය යුතු බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙති. අනතුරුව තවත් වේදනා දෙකක් පිළිබඳ අපගේ අවධානය යොමුකරවා ඇත.
1. කාප පරියන්තිකං වේදනං - කාය පරියන්තික වේදනාව
2. ජීවිත පරියන්තිකං වේදනං - ජීවිත පරියන්තික වේදනාව
2. ජීවිත පරියන්තිකං වේදනං - ජීවිත පරියන්තික වේදනාව
මේ දෙක ද තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන විඳිය යුතු වේ. “කායපරියන්තික” යනු කය හිමිකොට ඇති වේදනාවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ද්වාර පස මඟින් හට ගන්නා හෙවත් පංචද්වාරික වූ වේදනාවයි. “ජීවිත පරියන්තික” යනු දිවි හිම් කොට ඇති වේදනාවයි. මනසින් හට ගන්නා වේදනාවයි. හෙවත් මනෝද්වාරික වේදනාවයි.
මෙහිදී අප මනුෂ්‍ය ශරීරයේ ඇති ඉන්ද්‍රිය සය ඇසුරින් හට ගන්නා වේදනාව දෙයාකාරයකින් විවරණය කර ඇත. ‘සළයතනං’ යනු එම ආයතන සයයි. ‘සළායතන පච්චයා ඵස්සෝ’ සළායතන ප‍්‍රත්‍යවීමෙන් ස්පර්ශය ඇතිවෙයි, හෙවත් ෂඩ් ආයතන, ෂඩ් අරමුණු සමඟ ගැටෙයි. ඒවායේ පහස ලබයි. ඉන් වේදනාවක්, වින්දනයක් ඇති වේ. ‘ඵස්ස පච්චයා වේදනා’ එම වේදනා අයතන අනුව දෙකොටසකට බෙදේ. ඒ කාය පරියන්තික වේදනාව හා ජීවිත පරියන්තික වේදනාව යනුවෙනි.
සළායතන ඵස්ස වේදනා
1.ඇස රූප
2.කණ ශබ්ද
3.නාසය ගඳ, සුවඳ
4.දිව රස
5. ශරීරය පහස කාය පරියන්තික වේදනාව
6.මනස ධර්ම, සිතිවිලි ජීවිත පරියන්තික වේදනාව .
2.කණ ශබ්ද
3.නාසය ගඳ, සුවඳ
4.දිව රස
5. ශරීරය පහස කාය පරියන්තික වේදනාව
6.මනස ධර්ම, සිතිවිලි ජීවිත පරියන්තික වේදනාව .
මේ වේදනා දෙක පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක්, සාරත්‍ථප්පකාසිනී නම් සංයුත්ත නිකාය අටුවාවෙහි දක්නට ඇත. බුද්ධඝෝෂ මාහිමියන්ට ඒ සඳහා මහාවිහාරයේ පැවැති සංයුත්ත නිකායික හෙළටුවාවේ ඇසුර ලැබෙන්නට ඇතැයි සිතේ.
පංචද්වාරික වේදනාව (කාය පරියන්තික) පසුව ඉපදී පළමුව නිරුද්ධ වේ. මනෝද්වාරික වේදනාව (ජීවිත පරියන්තික) පළමුව ඉපදී අවසානයට නිරුද්ධ ;ව්. මනෝද්වාරික වේදනාව සත්වයාගේ ප‍්‍රතිසන්ධි ක්‍ෂණයෙහි (පිළිසිඳ ගන්නා මොහොතෙහි) වස්තු රූපයෙහිම පිහිටයි. එසේම ජීවිතාවසානය දක්වාම පවතියි. ඒ අනුව ඉහත දැක්වූ වේදනා දෙක අතුරින් අපගේ ජීවිතයේ වැඩිකාලයක් පවතිනුයේ මනෝද්වාරික වේදනාවයි. පංචද්වාරික වේදනාව පවතිනුයේ ඊට අඩු කාලයකි. පංචද්වාරික වේදනාවෝ පළමු වසර විස්ස තුළ ඇලීම් ,කිපීම්, මුළාවීම් වශයෙන් අධික ප‍්‍රමාණයෙන් බලවත් වේ. වයස අවුරුදු විස්ස හතළිහ අතර දී පසිඳුරන්ගෙන් ලබන උපරිම වින්දනය මානව සත්වයා ලබාගනියි. අවුරුදු පනහක් වන විට ඇලීම් ආදී කි‍්‍රයාවලිය අකි‍්‍රය වෙමින් ඒ කෙරෙහි අරමුණු ගැනීම ටිකෙන් ටික අඩුවෙයි. හැට වැනි විය වන විට පිරිහී ගොස් අසූවිය , අනූවිය සපුරන විට දී අතිශයින්ම දුර්වල වෙයි.
පංචද්වාරික වේදනා ඉතා වයස්ගත වූවන් කෙරෙහි නොපවතින නමුත්, මනෝද්වාරික වේදනාව පවතින්නේය. එයද අනුපිළිවෙළින් පිරිහී ගොස් මරණාසන්න කාලයේදී හදවතේ කෙළවර ඇසුරු කරමින් පවතියි.ඒ මනෝද්වාරික වේදනාව පවතින තාක් කල්ම “සත්ත්වයා ජීවත් වේ” යන්න යෙදේ. මනෝද්වාරික වේදනාව නොමැති වූ විට” සත්ත්වයා මැරුණේ යැ”යි ව්‍යවහාර වෙයි. මෙහි අර්ථ , වැව හා සම්බන්ධ කර, මෙසේ දත යුතුයි.
පුරුෂයෙක් ජල මාර්ග පහකින් සමන්විත වැවක් සාදන්නේය. පළමු වැසි වැටීමෙන් ඒ ජල මාර්ග පහ පිරී. ඉන් ජලය පිවිස , වැව තුළ ඇති ආවාට පුරවයි. නැවත නැවත වැසි වැටෙන කල්හි, ඒ ඒ තැන උතුරා යමින් ජලමාර්ග පිරී ගවුවක් අඩයොදුනක් පමණ තැන් ජලයේ පිරී පවතියි. ඉන්පසු වැසි නැති සමයේදී ජලය පිටකරන වාන් දොරටු හැර දමා, කුඹුරු කර්මාන්ත සිදුකරන කාලයේදී ජලය වැවෙන් ඉවත් කරයි. ශස්‍ය පැසෙන කාලය වන විට වැවේ ජලය ඉතා අඩුවේ. ඒ කාලයේ “මාළු අල්ලමු”යි ගම් වැසියෝ වැවට පැමිණෙති. එවිට ද ආවාට කිහිපයකම ජලය ඉතිරිව පවතියි. එසේ ආවාට වල දිය ඇති තාක් කල් “ වැවේ ජලය ඇත” යන වහර පවතියි. ඒවාද සිඳී ගිය කල්හි “ මහවැව සිඳුණේය “ යන ව්‍යවහාරය ඇති වෙයි.
දහම් කරුණු හා මේ උපමාව සන්සන්දනය කළ යුතු වන්නේ මෙසේ යැයි දත යුතුයි.පළමු වැසි වැටුණු කාලයේ ජල මාර්ග පහක් පිරී ජලය වැව තුළට අවුත් වැවේ ආවාට පිරෙන අවස්ථාව මෙන්, පළමුව පිළිසිඳගන්නා අවස්ථාවේ මනෝද්වාරික වේදනාව වස්තු රූපයන්හි පිහිටන අවස්ථාව දත යුතුයි. නැවත නැවත වැසි වැටෙන කල්හි ජල මාර්ග පහම පිරී ඉතිරී යන අවස්ථාව, පංචද්වාරික වින්දනයන්ම පවතින අවස්ථාව දත යුතුයි. කුසින් බිහිව ගත කරන ළදරු සමය , මෙහිදී අදහස් කැරේ. වැවේ ගවුවක්, අඩයොදුනක් පමණ උසට ජලය පිරී පවතින අවස්ථාව මෙන්, විසි වයස් පමණ වූ තරුණ කාලයේ ඇලීම්, ගැටීම් ආදියෙන් පසිඳුරන් ප‍්‍රබලව , බලවත්ව ඇති අවස්ථාව දතයුතුයි. වැවේ දිය පිරී පවතින කාලය මෙන් විසි විය සිට පනස්විය දක්වා වූ මනුෂ්‍ය ජීවිතයේ කාලය දත යුතුයි.
(මේ කාලයේ බාහිර උපද්‍රව මගින් වැව විනාශ වුවහොත් මහා ව්‍යසනයක් ඇතිවන්නාක් මෙන් මනුෂ්‍යයාද ඉතා පරිස්සම් කරගත යුතු කාලයකි. වැරැදි අංශයට ගියහොත් මහත් ව්‍යසන ඇතිවන බැවිනි.) අනතුරුව ජලමාර්ග විවෘත කර , කෘෂිකර්මාන්තාදිය ඇරැඹූ කල්හි ක‍්‍රමයෙන් වැවේ දිය පිටවී වැව හිස්වන්නාක් මෙන්, වයස අවුරුදු හැටේ සිට ක‍්‍රමයෙන් ඉන්ද්‍රිය පිනවීම් පිරිහී යෑම, දත යුතුයි. දිය මාර්ග වල දිය බැසගොස් අල්ප වූ ජලය පවතින අවස්ථාව මෙන් අසූ - අනූ වියට එළඹි කල්හි පසිඳුරන්ගෙන් ලබන වින්දනය දුර්වල වූ අවස්ථාව දත යුතුයි. ආවාටයන්හි පමණක් දිය ඉතිරිව පවතින අවස්ථාව මෙන්, හදවතේ අග මනෝද්වාරික වින්දනය ඇසුරු කර පවතින අවස්ථාව දත යුතුයි. ආවාටයන්හි ස්වල්ප දියක් ඇති කල්හි ද “ වැවේ ජලය ඇතැ”යි පවසන මෙන්, හදවතේ සිතේ මනෝද්වාරික වින්දනය පවතින තෙක්ම “සත්ත්වයා ජීවත් වෙයි” යන ව්‍යවහාරය පවතී.යම් අවස්ථාවකදී ආවාටයන්හි ජලය ද සිඳී ගොස් “වැවේ දිය නැත. වැව සිඳුණේය. “ යනුවෙන් කියත් ද එමෙන්, මනෝද්වාරික වින්දනය නැති වූ කල්හිම “ සත්ත්වයා මළේය. යන ව්‍යවහාර ඇතිවෙයි.
මෙනිසා ප‍්‍රතිසන්ධික්‍ෂණයේ සිට චුතික්‍ෂණය දක්වාම පවතින වින්දන මනෝද්වාරික වේදනාවයි. පසුව ඇති වී වයස් ගතවීමත් සමඳ ක්‍ෂය වී යන වින්දනය, පංචද්වාරික වේදනාවයි. මේ ගැඹුරු දහම් කාරණය තේරුම් කරදීමට ඉහත දැක්වූ පරිදි සාරත්‍ථප්පකාසිනී අටුවාවේ ගෙන ඇත්තේ ලංකාවේ පමණක් දක්නට ඇති “වැව“ යි වැව පිළිබඳ ගැමි කෘෂිකාර්මික ජනතාවට අටුවාටීකා විවරණ ඇසුරින් විස්තර කළ යුතු නොවේ.
ඔවුන්ට එය ප‍්‍රත්‍යක්‍ෂ කාරණයකි. මේ දැනුම උපයෝගී කරගත් මහාවිහාරික සිංහල තෙරවරු පරිවීමංසක සූත‍්‍රය විවරණය කිරීමේදී කායපරියන්තික හා ජීවිත පරියන්තික වේදනාව විග‍්‍රහ කිරීමට “ වැව“ පිළිබඳ විග‍්‍රහය රැගෙන උපමා උපමේය ගලපමින් ඉතා විසිතුරුව දහම් නැණ විදහා දැක්වූහ. සංයුත්ත නිකායට ලියූ එම මහාවිහාරික සිංහල අටුවාව (හෙළටුවාව) හා මහඅටුවාව ප‍්‍රධාන මූලාශ‍්‍ර කරගත් බුද්ධඝෝෂ මාහිමියෝ සාරත්‍ථප්පකාසිනිය රචනා කළහ.
බුදුගොස් මාහිමි ඉන්‍දීය මධ්‍යදේශ වාසී බ‍්‍රාහ්මණවංශිකයකු බැවින් වැව පිළිබඳ උන්වහන්සේ දැනුමක් නොතිබෙන්නට ඇත. ඒ වාපි සංස්කෘතිය ඇත්තේ ලංකාවේ පමණක්ම වන බැවිනි. එනිසා, මේ වැව උපමාවට යොදා ගත් දහම් විස්තරය, හෙළටුවාවකින්ම ගත් බව ස්ථිරය. ඉන් ප‍්‍රකට වනුයේ අපේ සිංහල මහ තෙරවරු, පරිසරයට ශ‍්‍රාවකයාගේ අත්දැකීම්වලට සසඳමින් සියුම් දහම් කරුණු විග‍්‍රහ කළ බවයි. ගැමියන්ගේ බසින්, ගැමි උපමා උපහැරණ ඇසුරින් දහම් කථා ලියූ ධර්මසේන මාහිමියන්ද (සද්ධර්මරත්නාවලි කතුවර) මෙහිදී අපගේ සිහියට නැගෙයි.
ඔබ සැමට තෙරුවන් සරණයි
No comments:
Post a Comment