එක් සමයක බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂූ පිරිස අමතා දේවදූතයන් තිදෙනෙකු පිළිබඳ කරුණු ඉගැන්වෙන දම්දෙසුමක් දේශනා කළහ. මෙම දේශනාව වත්මන් සමාජයට වඩාත් යෝග්‍ය වන්නේය. මක්නිසාද යත්, මෙහි සඳහන් දේවදූතයන් (ජාති, ජරා, මරණ ) සිහි කිරීමට කාලය එළඹ ඇති හෙයිනි. මෙම දම් දෙසුම ඇතුළත් වන්නේ අංගුත්තරනිකායේ තික නිපාතයෙහිය. එය නම්කොට ඇත්තේ දේවදූත සූත්‍රය නමිනි. එහි අන්තර්ගතය පෙළ දහම ඇසුරින් විස්තරාත්මකව විමසා බලමු.
මහණෙනි, මෙහිලා දේවදූතයෝ තිදෙනෙක් වෙති. ඔවුන් තිදෙනා අතුරින් පළමු දේවදූතයා මෙසේය. මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දුශ්චරිත කෙරෙයිද, වචනයෙන් දුශ්චරිත කෙරෙයිද, සිතින් දුශ්චරිත කෙරෙයිද, මහණනි, ඔහු නිරය පාලයෝ වෙන වෙනම අත්වලින් අල්ලාගෙන යම රජ හට දක්වත්.
එනම් , “දේවයන් වහන්ස, මේ පුරුෂ තෙම, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේය. රහතුන්ට මනාව නොපිළිපැද්දේය. කුලදෙටුවන් නොපිදිවෝය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව“ කියායි.
මහණනි, ඔහුට යම රජතෙම පළමුවන දේවදූතයා පැහැදිලි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය.
එනම් “ එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි පහළ වූ පළමුවන දේවදූතයා නුදුටුයෙහිද? “ යනුවෙනි. හෙතෙම මෙසේ කියයි. “ ස්වාමීනි, නුදිටුයෙමි “ යි කියයි. මහණනි, යමරජ තෙම මෙසේ කියයි. එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ඉපදීමෙන් අසූ වයස් ඇත්තා වූ හෝ අනූ වයස් වු හෝ, අවුරුදු සියයක් ගියාවු හෝ, ජරාවට ගියාවූ, ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනාවු, සැරයටිය පිහිටාකොට ඇත්තා වූ, වෙවුලමින් යන්නා වූ, ජරාවෙන් ආතුරවු, ඉක්මගිය තරුණ වයස් ඇත්තාවු කැඩුනාවු, (වැටුනාවූ) දත් ඇත්තාවූ, පැසුනු කෙස් ඇත්තාවූ, ඉදිරීගිය කෙස් ඇත්තාවූ, මුඩුවු හිස ඇති, ඇඟ රැළි වැටුණාවූ කැළලින් යුත් සිරුර ඇත්තාවු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුදුටුයෙහිදැ’යි කියායි. හෙතෙම, ස්වාමීනි, දිටුයෙමි යි කියයි.
හණනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. එම්බල පුරුෂය, නුවණැත්තාවූම වැඩිවිය පැමිණි තට මේ සිත නොවීද, “ මම ද ජරාව ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්මවුයෙක් වෙමි. එබැවින් මම කයින්ද, වචනයෙන්ද, සිතින්ද යහපතක් කරමි’යි කියායි. ස්වාමිනි, හෙතෙම නොහැකි වූයෙමි. ප්‍රමාද උනෙමි’යි කියයි.
මහණනි, යමරජ තෙමේ ඔහුට මෙසේ කියයි. එම්බල පුරුෂය, ප්‍රමාද වූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම් සේද, තට එපරිද්දෙන් කරන්නෙමි ‘යි කියායි. ඒ මේ පාපකර්මය වනාහි මවු විසින් නොකරන ලද්දේය. පියා විසින් නොකරන ලද්දේය. සහෝදරයා විසින් නොකරන ලද්දේය. නැගණිය විසින් නොකරන ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරන ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරන ලද්දේය. දේවතාවන් විසින් නොකරන ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්මය කරන ලද්දේය. මේ පාප කර්මයාගේ විපාකය තා විසින්ම විඳිය යුතුය යනුවෙනි.
මහණනි, යමරජ තෙම පළමුවන දේවදූතයා දක්වා, කරුණු සහිතව පිළිගන්වා, කරුණු විමසා කියාදී, කරුණු ගන්වා කියාදී, දෙවෙනි දේවදූතයා පැහැදිලි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය.
දෙවන දේව දුතයා
පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි පහළ වු, දෙවෙනි දේවදූතයා නොදැක්කෙහි දැ ‘යි අසයි. හෙතෙම ස්වාමීනි, නැතැ’යි කියයි. මහණනි, ඔහුට යමරජ තෙම, එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ව්‍යාධියෙන් පීඩිත වූ දුකට පැමිණියා වූ, දැඩි ගිලන් බැව් ඇත්තාවූ, ස්වකීය මළ මුත්‍රයෙහි සයනය කරන්නා වූ, අන්‍යයන් විසින් නැගිටවනු ලබන්නා වූ අනුන් විසින් නිදි කරවන්නාවූ, ස්ත්‍රියක් හෝ පුරුෂයකු නුදුටුයෙහි දැ’යි අසයි. හෙතෙම, දුටුවෙමි ස්වාමීනි ‘යි කියයි. මහණනි, යමරජතෙම ඔහුට, එම්බල පුරුෂය, මහලු වූ, නුවණැති වූ, ඒ තොපට මමද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ව්‍යාධිය නොඉක්මවූයෙමි. දැන් කයින්, වචසින්,මනසින් යහපතක් කරමි’යි මෙබඳු සිතක් නොවුයෙහි දැ’යි අසයි. හෙතෙම ස්වාමීනි, නොහැකිවුයෙමි. ප්‍රමාද වුයෙමි’යි කියයි.
මහණනි, යම රජතෙමේ ඔහුට මෙසේ කියයි. එම්බල පුරුෂය, ප්‍රමාද වු බැවින් කයින්, වචනයෙන් , සිතින් යහපත් ක්‍රියා නොකළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාද වුවාහුට යම් සේද, තට එපරිද්දෙන් කරන්නෙමි ‘යි කියායි. ඒ මේ පාපකර්මය වනාහි මවු විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරන ලද්දේය. සහෝදරයා විසින් නොකරන ලද්දේය. නැගණිය විසින් නොකරන ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරන ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරන ලද්දේය. දේවතාවන් විසින් නොකරන ලද්දේය. මහණ බමුණන් විසින් නොකරන ලද්දේය. තා විසින්ම මේ පාපකර්මය කරන ලද්දේය. මේ පාප කර්මයාගේ විපාකය තා විසින්ම විඳිය යුතුය යනුවෙනි.
තුන්වන දේවදූතයා
මහණනි, යමරජ තෙම ඔහුට දෙවෙනි දේවදූතයා දක්වා, කරුණු සහිතව පිළිගන්වා, කරුණු විමසා කියාදී , කරුණු ගන්වා කියාදී, තුන්වෙනි දේවදුතයා නොදැක්කෙහිද’යි අසයි. හෙතෙම ස්වාමීනි, නැතැ’යි කියයි. මහණනි, ඔහුට යම රජ තෙම, එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි මැරී එක් දවසක් ගිය, මැරී දෙදවසක් ගිය, මැරී තුන් දවසක් ගිය, කැතට ඉදිමුණු කැතට නිල් වූ, විශේෂයෙන් සැරව වැඟිරෙන, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නොදැක්කෙහි දැ’යි අසයි. හෙතෙම, දුටුවෙමි ස්වාමීනි ‘යි කියයි.
මහණෙනි, ඔහුට යමරජ තෙම, එම්බල පුරුෂය, මහලු වු, නුවණැති වූ, ඒ තොපට මම ද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්වීමි. දැන් කයින්, වචනින් , මනසින්ය, පතක් කෙරෙමියි මෙබදු සිතක් නොවූයෙහිදැයි අදයි. හෙතෙම ස්වාමීනි, නොහැකි වුයෙමි. ප්‍රමාද වුයෙමි’යි කියයි.
මහණනි, යම රජ තෙමේ ඔහුට මෙසේ කියයි. එම්බල පුරුෂය , ප්‍රමාද වූ බැවින් කයින්, වචනයෙන් , සිතින් යහපත් ක්‍රියා නොකළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාද වූවාහුට යම් සේද, තට එපරිද්දෙන් කරන්නෙමි ‘ යයි කියායි. ඒ මේ පාපකර්මය වනාහි මවු විසින් නොකරන ලද්දේය. පියා විසින් නොකරන ලද්දේය. සහෝදරයා විසින් නොකරන ලද්දේය. නැගණිය විසින් නොකරන ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරන ලද්දේය.
සහ ලේ නෑයන් විසින් නොකරන ලද්දේය. දේවතාවන් විසින් නොකරන ලද්දේය. මහණ බමුණක් විසින් නොකරන ලද්දේය. තා විසින්ම මේ පාපකර්ය කරන ලද්දේය. මේ පාප කර්මයාගේ විපාකය තා විසින්ම විඳිය යුතුය යනුවෙනි.
මහණනි, යමරජ තෙම ඒ තුන්වෙනි දේවදූතයා පැහැදිලිකොට කරුණු පිළිගන්වමින් අසා කරුණු විමසමින් අසා නිශ්ශබ්ද වෙයි.
නිරය පල්ලන්ගේ දඬුවම්
මහණනි, ඔහුට නිරය පාලයෝ පඤ්චවිධ බන්ධන නම් වූ වධයක් කෙරත්, රත්වූ යකඩ උලක් අතෙහි ගසත්, රත්වූ යකඩ උලක් දෙවැනි අතෙහි ගසත්, රත් වූ යකඩ උලක් පයෙහි ගසත්, රත් වූ යකඩ උලක් දෙවෙනි පයෙහි ගසත්, රත් වු යකඩ උලක් උරමැදෙහි ගසත්, එහි හෙතෙම දික් වූ’ තියුණූ වු , කෲර වූ වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය විනාශ නොවේද, ඒ තාක් කලුරිය නොකෙරෙයි. නිරයපාලයෝ ඔහු බිම පෙරළා කෙටේරිවලින් සසිත්.
මහණනි, ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට,හිස යටිකොට තබා වැ වලින් සසිත්, ඔහු නිරයපාලයෝ රථයෙහි යොදා, ගින්නෙන් දිලිසෙන්නාවූ, වෙසෙසින් ඇවිල පවත්නා වූ, ගිනි සහිත වූ භූ®මියෙහි ඉස්සරහට යාමද කරවත්, පස්සට යාමද කරවත්, මහණනි, ඔහු නිරයපාලයෝ, ගින්නෙන් දිලිසෙන්නා වූ, වෙසෙසින් ඇවිල පවත්නාවූ, ගිනි සහිත වු, මහත් වූ’ මහා කුළු ගෙයක් පමණ වූ, අඟුරු පව්වට නැංවීමද කරවත්, බැස්වීමද කරවත්.
මහණනි, ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට, හිස යටිකුරු කොට කකියන්නා වූ ලොහො සැලියෙක්හි දමත්, හෙතෙම එහි පෙන නඟමින් පැසෙයි. හෙතෙම එහි පෙන නඟිමින් පැසී, වරක් උඩට එයි. වරක් යටට යෙයි. වරක් හරහට යයි. හෙතෙම එහි දුක්වූ .
දරුණූවූ, කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් එහි පාප කර්මය නොගෙවේද, ඒ තාක් කලුරිය නොකරයි. මහණෙනි, යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්.
මහණනි, ඒ මහා නරකය සිවු කොණක් ඇත්තේය. සිවු දොරටුවක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. එසේම ප්‍රමාණ කරන ලද්දේය. යකඩ ප්‍රාකාරයකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.
ඒ නිරයෙහි බිම යකඩයෙන්ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැම කල්හි හාත් පසින් සියක් යොදුනක් ගින්න පැතිර ගෙන සිටී.
යමරජුගේ සිතුවිල්ල
මහණනි, පූර්ව කාලයෙහි යමරජහට මෙබඳු අදහසක් විය. පින්වත්නි, ලෝකයෙහි යම් කෙනෙක් ළාමක වු කර්මයන් කෙරෙද්ද, ඔවුහු තුමු මෙබඳු වු නොයෙක් වධ කරුනු ලබක්, මම මිනිස් බවක් ලබන්නේ නම්, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදින්නාහු නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ පයිරුපාසනය කරන්නෙම් නම් (ඇසුරු කරන්නෙම් නම් ) මට ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසත්, නම්, මමද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙම් නම්, යහපති කියායි.
මහණනි, මම එය අන්‍යවූ ශ්‍රමණයකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා මෙසේ නොකියමි. මහණනි, යමක්ම මා විසින් තමාම අවබෝධ කරන ලද්දේ, තමාම දක්නා ලද්දේද, තමාම දැනගන්නා ලද්දේද, එය මම කියමි’යි වදාළ සේක.දේවදූතයන් විසින් චෝදනා කරන ලද යම් මනුෂ්‍ය කෙනෙක් ප්‍රමාද වෙත්ද, ළාමක වූ ශරීරයක් ඇති බවට පැමිණ බොහෝ කාලයක් මුළුල්ලෙහි ශෝක කෙරෙත්.
මේ ලෝකයෙහි දේවදුතයන් විසින් චෝදනා කරන ලද්දා වූ, පණ්ඩිත වු යම් සත්පුරුෂ කෙනෙක් වෙත්ද, ඔවුහු කිසි කලෙකත් ආර්ය ධර්මයෙහි ප්‍රමාද නොවෙත්.
ජාතියට හා ජරා මරණයට කරුණු වූ , තෘෂ්ණා දෘෂ්ටීන් දැඩිකොට ගැනීමෙහි බිය දැක, ජාති මරණ සංඛ්‍යාත නිර්වාණයෙහි උපාදාන වශයෙන් නොගෙන මිදෙත්.
අප්‍රමාද විහරණ ඇත්තා වූ සුවපත් වූ මේ ආත්මයෙහිම නිවුනා වූ , සියලු වෛර, භය ඉක්මවූ, ඒ සත්පුරුෂයෝ වනාහි සියලු දුක් ඉක්මවූවාහුය ‘යි වදාළ සේක
No comments:
Post a Comment